ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් බදු අයකර ගැනීම පිළිබඳ නඩුවට ලැබුණු නියෝගය
November 6, 2025 03:11 pm
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගෙන් "අත්තිකාරම් පුද්ගල ආදායම් බද්ද" අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය පිළිබඳ ගැටලුව ඊට සම්බන්ධ සියලු පාර්ශ්වය එක්ව සාකච්ඡා කර විසඳා ගැනීම සුදුසු බව අභියාචනාධිකරණය අද දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාට යෝජනා කර තිබේ.
ඒ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් අදාළ බද්ද අය කිරීමට ගෙන තිබෙන තීරණය අසාධාරණ බව සඳහන් කරමින් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා සහ එක්දින කණ්ඩායමේ නායක චරිත් අසලංක විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සමක් අද (06) විභාගයට ගත් අවස්ථාවේදීය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා විසින් මෙම යෝජනාව සිදු කර ඇත.
මෙම පෙත්සම් අද විභාගය සඳහා අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු රෝහන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එම අවස්ථාවේදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා සඳහන් කළේ මෙම ගැටලුව මෙම සිද්ධියට සම්බන්ධ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පාර්ශ්වය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, නීතිපතිවරයා සහ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් එක්ව සාකච්ඡා කර විසඳා ගැනීම සුදුසු බවය.
රජයට බදු ආදායම් අයකර කර ගැනීම වැදගත් වනවා මෙන්ම මෙය ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම හා සම්බන්ධ ගැටළුවක් නිසා මෙම බදු අර්බුදය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට ඇති හැකියාව සොයා බලන ලෙස මෙහිදී විනිසුරුවරයා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මනෝහර ජයසිංහ මහතාට යෝජනා කළේය.
තමා මෙහිදී ක්‍රිකට් ක්‍රීඩකයින්ට පක්ෂපාතිව කටයුතු නොකරන බව සඳහන් කළ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින් යනු ශ්‍රී ලංකාවේ කීර්තියට දායකත්වයක් ලබා දෙන පිරිසක් බැවින් ඒ සම්බන්ධයෙන් සලකා බලන ලෙසත් ඔහු සිය යෝජනාව තුළින් සඳහන් කර සිටියේය.
මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නිශාන් ප්‍රේමතිරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ස්ථිර සේවකයින් නොවන බව සඳහන් කළේය.
තම සේවා දායකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ කටයුතු කරන්නේ කොන්ත්‍රාත් පදනම යටතේ බවත් ඔවුන්ට සේවක අර්ථ සාධක අරමුදලේ හෝ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදලේ හිමිකමක් නොමැති බවත් නීතිඥවරයා පෙන්වා දුන්නේය.
ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයින් ස්වාධීන සේවා සපයන්නන් බව පෙන්වා දුන් නීතිඥ ප්‍රේමතිරත්න මහතා එසේ තිබියදී අදාළ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ස්ථිර සේවකයින් ලෙස නිගමනය කරමින් ඔවුන්ගෙන් අදාළ බදු අය කිරීමට දේශීය ආදායම කොමසාරිස් ජෙනරාල්වරයා ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් කියා සිටියේය.
ඉන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් පෙනී සිටි න ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ස්ථිර සේවකයින් නොවන බව ද පැවසීය.
එසේ තිබියදී අදාළ ක්‍රීඩකයින් පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කරුණු විමසීමකින් තොරව ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ස්ථිර සේවකයින් වශයෙන් නිගමනය කිරීමට දේශීය ආදායම් කොමසාරිස් ජනරල්වරයක් ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් එය අත්තනෝමතික තීරණයක් බවත් ජනාධිපති නීතිඥවරයා චෝදනා කළේය.
එම නිසා මෙම කරුණු සම්බන්ධයෙන් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා අවධානය යොමු කළ යුතු බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.
දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අභියාචනාධිකරන විනිසුරු මඩුල්ල මෙම ගැටලුව සියලු පාර්ශ්ව එක්ව සාකච්ඡා කර යළි සලකා බලා තීරණයක් ගැනීම සුදුසු බව සඳහන් කළේය.
කෙසේ වෙතත් මෙම පෙත්සම වැඩිදුර විභාගය සඳහා ලබන 18 වනදා කැඳවන ලෙසත් විනිසුරු මඩුල්ල නියෝග කර සිටියේය.
