කෑගල්ල දිස්ත්‍රික්කයේ දන්ත වෛද්‍යවරු සංකේත වැඩ වර්ජනයක

කෑගල්ල දිස්ත්‍රික්කයේ දන්ත වෛද්‍යවරු සංකේත වැඩ වර්ජනයක

March 28, 2025   04:37 pm

කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහලේ දන්ත ශල්‍ය විශේෂඥවරයෙකුට රෝගියෙකු විසින් සිදුකරන ලද පහරදීමට විරෝධය පළ කරමින් එම දිස්ත්‍රික්කයේ සේවය කරන සියලුම දන්ත ශල්‍ය වෛද්‍යවරුන් සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

කෑගල්ල රෝහල තුළ සේවය කළ මුඛ, හනුක හා මුහුණ පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකුට පුද්ගලයෙකු විසින් රෝහල් පරිශ්‍රය තුළදී පහර අද (28) පස්වරුවේදී පහරදීමක් සිදුකර තිබේ.

මේ සම්බන්ධව නිවේදනයක් නිකුත් කරමින් රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ලක්මිණ ඒකනායක මහතා සඳහන් කරනුයේ සිද්ධිය පිළිබඳ සිය සංගමය පිළිකුලෙන් යුතුව හෙලා දකින බවත් රෝහල් කාර්ය මණ්ඩලයේ සුරක්ෂිතභාවට තහවුරු කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් සිය සංගමයේ විරෝධය පළ කරන බවත්ය.

රෝහල් පද්ධතිය, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අනාරක්ෂිත ස්ථානයක් බවට පත්ව ඇති බවත් රෝහල් කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කිරීම රජයේ වගකීමක් වනු ඇති බවද ලේකම්වරයා සිය ලිපිය මගින් දන්වා තිබේ.

එමෙන්ම සමාජ මාධ්‍ය හරහා වෛද්‍යවරුන් හා සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කෙරෙහි වෛරය පැතිරවීමේ කුමන්ත්‍රණය නැවැත්වීමට රජය මැදිහත් විය යුතු බවත් සඳහන් කර ඇති වෛද්‍ය ලක්මිණ මහතා සිය ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ ඒ සම්බන්ධව සිදුකරනු ලබන බල කිරීමක් වශයෙන් සිය සංගමය හෙට දහවල් 12 දක්වා සංකේත වැඩ වර්ජනයක් සිදු කිරීමට සැලසුම් කර ඇති බවය.

ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ සේවය කරනු ලබන සියලුම දන්ත ශල්‍ය වෛද්‍යවරුන් හා එක්ව මෙම වැඩවර්ජනය ආරම්භ කිරීමට තීරණය කළ බවත් වෛද්‍ය ලක්මිණ ඒකනායක මහතා සිය ලිපිය මගින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.