වෛද්‍යවරිය දූෂණය කිරීමේ සිද්ධිය - හඳුනාගැනීමේ පෙරට්ටුවේදී සැකකරුව හඳුනගනී
March 28, 2025 03:03 pm
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක බරපතළ ලෙස දූෂණය කිරීමේ සිද්ධියේ සැකකාර හිටපු යුද හමුදා සෙබළා හඳුනාගැනීමේ පෙරෙට්ටුවේදී හිංසනයට පත් වෛද්‍යවරිය විසින් හඳුනාගෙන තිබේ.
සැකකරු මෙලෙස හඳුනා ගනු ලැබුවේ, සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටුව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා ඉදිරියේ අද (28දා) පැවති අවස්ථාවේදීය.
මෙම හඳුනා ගැනීමේ පෙරට්ටුව මහේස්ත්‍රාත් නිල මැදිරියේදී පැවැත්වීම විශේෂත්වයක්ය.
මෙම සිද්ධියේ පැමිණිලිකාර වෛද්‍යවරිය අද හඳුනාගැනීමේ පෙරට්ටුවට පෙනී සිටීම සඳහා ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා ඇතුළු නීතිඥ මහත්ම මහත්මීහු කණ්ඩායමක් සමග අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ සිටියහ.
සැකකරු හඳුනාගැනීමේ පෙරෙට්ටුව මහෙස්ත්‍රාත් නිල මැදිරියේදී පැවැත්වීමෙන් අනතුරුව යළි විවෘත අධිකරණයේදී කැඳවනු ලැබීය.
එහිදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අනුරාධපුර මූලස්ථාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය සඳහන් කළේ මෙම අපරාධ සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශන සිදු කෙරෙන බැවින් සැකකරු යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.
පොලීසිය කළ එම ඉල්ලීම පිළිගත් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා නියෝග කළේ සැකකරු තව දුරටත් අප්‍රේල් මස 10වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.
එහිදී අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අමතමින් සැකකාර පුද්ගලයා පවසා සිටියේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් රහස් ප්‍රකාශයක් ලබාදීමට තමන්ට අවශ්‍ය බැවින් ඒ සඳහා අවසර ලබා දෙන ලෙසයි.
සැකකරුගේ මෙම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පැවසුවේ, සැකකරු සම්බන්ධයෙන් මානසික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු මගින් වාර්තාවක් කැඳවීමෙන් අනතුරුව සැකකරුගේ ඉල්ලීම පිළිබඳව සලකා බැලිය හැකි බවයි.
ඒ අනුව සැකකරු අනුරාධපුර ශික්ෂණ රෝහලේ මානසික රෝග විශේෂඥ වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කොට, අදාළ වෛද්‍ය වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර මූලස්ථාන පොලිසියට තව දුරටත් නියෝග කරනු ලැබීය.
සැකකරු වෙනුවෙන් අද දිනයේදී ද කිසිදු නීතිඥයෙකු පෙනී සිට නොමැත.