මගී ප්‍රවාහන බස් රථ පරික්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක්

මගී ප්‍රවාහන බස් රථ පරික්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක්

December 28, 2024   03:01 pm

දිවයිනේ රිය අනතුරු අවම කර ගැනීම සඳහා උත්සව සමය මූලික කරගනිමින් විශේෂ රථවාහන මෙහෙයුමක් පොලීසිය විසින් ක්‍රියාවට නංවා තිබේ.

මෙම මෙහෙයුම මගින් දුර ගමන් සේවා බස් රථ රියදුරන් මාර්ග නීති උල්ලංඝනය කරමින් අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කිරීම සම්බන්ධවය ප්‍රධාන වශයෙන් අවධානය යොමු කර තිබේ.

එහිදී මගී බස් රථ පරික්ෂාව සඳහා සිවිල් ඇඳුමින් නිලධාරීන් රාජකාරි යොදවා දුර ගමන් සේවා බස් රථවල සැලකිය යුතු දුර ප්‍රමාණයක් ගමන් කරන බවද පොලීසිය පවසයි.

එහිදී අපරික්ෂාකාරී රිය ධාවනය, ජංගම දුරකථන භාවිත කරමින් රිය ධාවනය, පදික මාරු මතින් වාහන ඉස්සර කිරීම සහ අධික වේගය ඇතුළු රථවාහන වැරදි සම්බන්ධව නිරීක්ෂණය කිරීමට කටයුතු කර තිබේ.

පසුව ඉදිරි ස්ථානයකදී නිල ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් එම බස් රථ නවත්වා සිදුකරන ලද රථවාහන වැරදි පිළිබඳව අදාළ රියදුරන් දැනුවත් කර ඔවුන්ට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කරනු ඇත.

තවද මගීන්ගේ ආරක්ෂාව සඳහා මෙම මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කිරීමටද පොලීසිය පියවර ගෙන තිබේ.

ඒ අනුව පසුගිය පැය 24 තුළ මේ ආකාරයට බස් රථ 10ක් පරික්ෂාවට ලක් කර ඇති අතර ඉන් බස් රථ 4ක රියදුරන්ට අවවාද කර තිබේ.

ඉතිරි බස් රථ 6හි රියදුරන්ට දඩ පත්‍රිකා නිකුත් කර අධිකරණයට ඉදිරිපත් කිරීමටත් පියවර ගත් බවද පොලීසිය පැවසීය.