රට රැකියා සිහින පෙන්වා මුදල් වංචාකළ කතුන් දෙදෙනෙක් අත්අඩංගුවට
September 30, 2024 04:13 pm
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ කාන්තාවන් දෙදෙනෙක් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම කාන්තාවන් දෙදෙනාගෙන් එක් අයෙක් දකුණු කොරියාවේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයින් තිදෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 5 බැගින් රුපියල් ලක්ෂ 15ක් හා ඉතාලියේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයෙකුගෙන් රු.730,000ක මුදලක් ලබාගෙන ඇත.
නමුත් පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදුන් බවට කාර්යාංශයට ලද පැමිණිලි 4ට අදාළව මහනුවර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ඇයගේ නිවසේදී විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් කාන්තාව මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් නඩුවක් සඳහා රුපියල් ලක්ෂ 10 බැගින් ශරීර ඇප 2 බැගින්, නඩු 4 සඳහාම දඬුවම් නියම කර නිදහස් කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මේ අතර ඩුබායි රාජ්‍යයේ රැකියාවක් ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 5ක මුදලක් ලබාගෙන රැකියාව ලබා නොදුන් බවට කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට ලද පැමිණිල්ලක් අනුව ගලගෙදර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාරිය ගලගෙදර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔක්තෝබර් මස 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
සැකකාරියට විරුද්ධව තවදුරටත් කාර්යාංශය වෙත පැමිණිලි ලැබෙමින් පවතින අතර, එම පැමිණිලි විභාග කිරීමෙන් අනතුරුව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව ඇත.