අනියම් සැමියා සමග රූපලාවණ්‍යාගාරයක් කොල්ල කෑ කාන්තාව කොටුවෙයි

අනියම් සැමියා සමග රූපලාවණ්‍යාගාරයක් කොල්ල කෑ කාන්තාව කොටුවෙයි

February 12, 2024   08:23 pm

මොරගහහේන ගෝනපොළ රූපලාවණ්‍යාගාරයකට පැමිණ එහි හිමිකාරියට තර්ජනය කර තියුණු ආයුධයකින් පහරදී රන් ආභරණ කොල්ලකෑ සැකකාරියක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රූපලාවණ්‍ය සත්කාරයක් සිදුකරගන්නා මුවාවෙන් සිය අනියම් සැමියා සමඟ රූපලාවණ්‍යාගාරයට පැමිණ ඇති අදාළ කාන්තාව එහි හිමිකාරියට තියුණු ආයුධයක් පෙන්වා තර්ජනය කරමින් එම කොල්ලය සිදුකර තිබිණි.

සැකකාර පුද්ගලයා රන් ආභරණ රැගෙන පළාගොස් ඇති අතර සැකකාර කාන්තාව එදිනම අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණි.

කෙසේ වෙතත් පසුව තමන්ට රෝගී තත්ත්වයක් ඇතැයි පවසමින් පොලිස් ආරක්ෂාව සහිතව රෝහල්ගතවූ සැකකාරිය රෝහලෙන් පළාගොස් තිබුණේ යාබද නිවසකින් ඇඳුම් සහ රුපියල් 14,000ක මුදලක්ද සොරකම් කරමිනි.

ඉන් අනතුරුව පළාගොස් සැඟව සිටි ඇය දින 19කට පසුව මොරොන්තුඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට හොරණ පොලිසිය සමත්ව තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 39 හැවිරිදි සැකකාරිය පිළියන්දල මඩපාත පදිංචිකාරිණියකි.