ශ්‍රී ලංකාවේ පාම් වගාව සම්බන්ධව අධ්‍යයනයක්

ශ්‍රී ලංකාවේ පාම් වගාව සම්බන්ධව අධ්‍යයනයක්

November 20, 2023   05:57 pm

ශ්‍රී ලංකාවේ පාම් වගාව (කටුපොල් වගාව)  සම්බන්ධව ඇතැම් පරිසර සංවිධාන විසින් ඉදිරිපත් කර ඇති විරෝධතා මෙන්ම මෙම වගාව නිසා පරිසරයට යම් හානිකර තත්ත්වයක් සිදුවන්නේ ද? නැද්ද? යන්න පිළිබඳව මේ වනවිට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය මගින් අධ්‍යයනයක් ආරම්භ කර තිබේ.

මීට දශක කිහිපයකට පෙර මෙරට පාම් වගාව ආරම්භ කළ ද ඉන්පසු ඒ සම්බන්ධව ඇතැම් පාර්ශ්ව එල්ල කරන ලද විරෝධතා හා චෝදනා සැලකිල්ලට ගනිමින් පාම් වගාව ප්‍රවර්ධනය කිරීම අත්හිටුවන ලදී.

එවකට එළැඹි ගිවිසුම් අනුව අක්කර 20,000ක පාම් වගා කිරීමට සැලසුම් කළ ද මේ වනවිට මෙරට පාම් වගාව ව්‍යාප්තව පවතින්නේ අක්කර 11,000ක පමණි.

මේ අතර ශ්‍රී ලංකාවේ පාම් වගාව සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් අද දින (20) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවැත්විනි. 

එම සාකච්ඡාවට කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා, මෙරට ඉන්දුනිසියානු තානාපතිනී, Dewi Gustina Tobing මහත්මිය සහ අමාත්‍යාංශයේ ලේකම් ජනක ධර්මකීර්ති යන මහත්වරු සහභාගි වූහ.

පාම් වගාව නිසා පරිසරයට විශාල හානියක් සිදුවන බවට පරිසර සංවිධාන විසින් විශාල විරෝධතාවයක් එල්ල කර ඇතත්, පාම් වගාවෙන් පරිසරයට සිදු වන හානිය පිළිබඳ මෙතෙක් කිසිදු විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කර නැත. 

එමනිසා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් ආරම්භ කර ඇති අධ්‍යයනය මගින් සකස් කරන වාර්තාවක් හා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට තමන් අපේක්ෂා කරන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

පාම් වගාව සම්බන්ධව උනන්දුවක් දක්වන්නේ නම් ඒ සඳහා විශාල ආයෝජනයක් සිදුකළ හැකි බව මෙරට ඉන්දුනිසියානු තානාපතිනිය සඳහන් කළාය. 

දැනට පාම් වගාව සම්බන්ධව ශ්‍රී ලංකාව හා ඉන්දුනිසියාව අතර අවබෝධතා ගිවිසූමක් ද තිබේ. 

මෙරටේ පාම් වගාව ආශ්‍රිත නිෂ්පාදන එම ගිවිසුම යටතේ මිලදී ගැනීමට ඉන්දුනිසියානු රජයේ එකඟත්වය පළ කර ඇති අතර මෙරට පාම් වගාව ව්‍යාප්ත කිරීම සඳහා රුපියල් බිලියන 4.5ක ආයෝජනයක් සිදුකිරීමට සූදානම් බව ද මෙහිදී තානාපතිනිය ප්‍රකාශ කළාය.