මා ඔයේ වැලි ජාවාරම් උකුස්සා ට හසුවෙයි

මා ඔයේ වැලි ජාවාරම් උකුස්සා ට හසුවෙයි

July 22, 2023   08:28 pm

සුන්දර මා ඔයේ සිදුකරන නීතිවිරෝධී වැලි ජාවාරමක් නීතියේ රැහැනට හසුකර ගැනීමට භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය සමත් විය.

උකුස්සාගේ අද අනාවරණය ඒ පිළිබඳවය.

මහනුවර දිස්ත්‍රික්කයට අයත් කඳුවල දිය උල්පත්වලින් උපත ලබන මනස්කාන්ත මා ඔය මීගමුව කොච්චිකඩෙන් මුහුදට එක්වෙයි.

20 ලක්ෂයකට අධික ග්‍රාමීය ජනයාගේ පානීය ජල අවශ්‍යතාව සපුරාගැනීම ද මෙමගින් සිදුකෙරේ.

ඉතා සුන්දර වටපිටාවකට උරුමකම් කියන මා ඔයට අද අත්වෙමින් තිබෙන්නේ ඉතා කනගාටුදායක තත්ත්වයකි.

ඒ එහි ඉවුරුවලට දැඩි හානිකරමින් සිදුකරනු ලබන නීතිවිරෝධී වැලි ජාවාරම් හේතුවෙනි.

එවන් පසුබිමක පිරිසක් කලක පටන් මීගමුව දංකොටුව ප්‍රදේශයෙන් මා ඔයේ ඉවුරුවලට දැඩි ලෙස හානි කරමින් වැලි ජාවාරම් සිදුකරන බවට අද දෙරණ උකුස්සාට තොතුරක් ලැබුණි.

ඒ අනුව ගවේෂණයක නිරත වූ උකුස්සාට අනාවරණ කරගත හැකිවුයේ මා ඔයේ සිට මීටර 100ක් දක්වා වූ රක්ෂිත කොටසේ කිසිඳු ආකාරයක වැලි කැනීම් සිදුකිරීමට නොහැකි බවය.

එහෙත් ඒ පිළිබඳව අබමල් රේණුවක් තරම්වත් මායිම් නොකරමින් පිරිසක් මා ඔයේ ඉවුරුවලට දැඩි ලෙස හානිකරමින් වැලි ජාවාරම් සිදුකරයි.

මෙහි කපා ඇති ඇතැම් වළවල් මීටර 20ට වඩා උසින් යුතු බව අප කළ සොයාබැලීමේදී අනාවරණ වුණි.

අනතුරුව මෙම නීතිවිරෝධී ක්‍රියාව සිදුකරන පුද්ගලයින් නීතියේ රැහනට හසුකරදීම සඳහා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ නිලධාරීන් සමග අද දෙරණ උකුස්සා ද එක්වී මෙහෙයුමක් ක්‍රියාත්මක කළේය.

ඒ පොලිස් විශේෂ කාර්ය බළකායේ සහාය ද ඇතිවය.

අප අදාළ ස්ථානය පිළිබඳ සොයබලමින් සිටින අතරතුර පුද්ගලයින් දෙදෙනකු විසින් මා ඔයේ ඉවුර අසල වැලි කැනීම් සිදුකරමින් පසුවිය.

එම අවස්ථාවේදී ක්‍රියාත්මක වූ භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශයේ නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් එක්වී අදළ පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබීය.

පසුව සැකකරුවන් සහ ටිපර් රථය දංකොටුව පොලීසියට භාර දෙනු ලැබීය.

ඉදිරියේදීත් මෙවැනි නීතිවිරෝධී ක්‍රියාවන් රට හමුවේ අනාවරණ කිරීමට අද දෙරණ උකුස්සා සූදානමින් පසුවෙයි.