ව්‍යාජ ගමන් බලපත්‍රයකින් මෙරටට පැමිණි විදේශිකයා

ව්‍යාජ ගමන් බලපත්‍රයකින් මෙරටට පැමිණි විදේශිකයා

April 11, 2023   03:02 pm

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් මෙරටට ඇතුළුවීමට උත්සාහ කළ නයිජීරියානු ජාතිකයෙක් කටුනායක ගුවන්තොටුපොළ පර්යන්තයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව ඔහු යළි පිටුවහල් කිරීමට ගුවන්තොටුපොළ ආගමන විගමන නිලධාරීන් පියවර ගෙන ඇති බව වාර්තා වේ.

31 හැවිරිදි එම නයිජීරියානු ජාතිකයා බහමාස් රාජ්‍යයට අයත් ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් මෙරටට ඇතුළුවීමට උත්සාහ දරා ඇති බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කළේය.

මොහු නයිජිරියාවේ සිට ලයිබීරියාවටත් එතැන් සිට මොරොක්කෝ රාජ්‍යයටත් පැමිණ අනතුරුව කටාර් රාජ්‍යයේ සිට කටාර් ගුවන් සේවයට අයත් කිව්.ආර්.654 දරණ ගුවන් යානයෙන් කටුනායකට පැමිණ තිබේ.

බහමාස් රාජ්‍යයට අයත් ගුවන් ගමන් බලපත්‍රය පිළිබඳ මතු වූ සැකය මත ගුවන්තොටුපළ දේශසීමා අවේක්ෂණ ඒකකයේ විමර්ශනය සඳහා සැකකරු යොමුකර ඇත.

ඒ අනුව අදාළ ගමන් බලපත්‍රය ව්‍යාජ ලෙස සකස් කර ඇති බවට තහවුරු වී ඇති අතර ප්‍රශ්න කිරීමේ දී ඔහු පවසා ඇත්තේ තමන් 2022 වසරේ සිට අවස්ථා කිහිපයකදී ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා වීසා අයදුම් කර සිටි බවය.

එම උත්සාහයන් අසාර්ථකවීමත් සමග ව්‍යාජ ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකාවට පැමිණීමට පියවර ගත් බව ද ඔහු ප්‍රකාශ කර තිබේ.

මෙසේ නයිජීරියානු ජාතිකයන් ශ්‍රී ලංකාවට ඇතුළු වී ATM යන්ත්‍ර කඩා මුදල් සොරකම් කිරීම, ව්‍යාජ දත්ත ඒවාට ඇතුළත් කර මුදල් සොරාගැනීම ආදී මූල්‍ය වංචා සිදුකිරීම පිළිබඳව දිගින් දිගටම වාර්තා වීම හේතුවෙන් ඔවුන්ට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට අවකාශය ලැබෙන්නේ දැඩි සෝදිසි කිරීම්වලින් අනතුරුව අත්‍යාවශ්‍යම පුද්ගලයෙකුට පමණි.

තවදුරටත් මොහුගේ පසුබිම් තොරතුරු විමර්ශනයට ලක්කිරීමෙන් අනතුරුව ඔහු පැමිණි ගුවන් සේවය වෙත මොහු භාර දී  එම යානයෙන්ම ඔහුව පිටුවහල් කිරීමට කටයුතු කර තිබේ.