මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරියක අල්ලස් දැලේ

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරියක අල්ලස් දැලේ

February 13, 2026   07:03 am

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කාර් පැවරුම් අංශයේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරියෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (12) මෙම සැකකාරි අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය වාර්තමානයේ මුදල් අමාත්‍යාංශයේ වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

කොමිෂන් සභාවට ලද තොරතුරක් මත ආරම්භ කර ඇති විමර්ශනයකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. 

2017 පෙබරවාරි 17 වන දින නීත්‍යානුකූල මුල් පදිංචියක් නොමැතිව අංක GZ–6889 දරණ මෝටර් රථයක් නීත්‍යනුකූල නොවන ලෙස පැවරීම සඳහා අනුමැතිය ලබා දී ඇති බවට ඇයට චෝදනා එල්ල වී ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

පසුව සැකකාරිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර, අධිකරණ නියෝග මත ඇප මත මුදා හැර තිබේ.