දරුවන් වෙනුවෙන් බිත්තර මිල අඩු කරන්නැයි ඉල්ලීමක්
December 15, 2022 09:48 pm
බිත්තර සඳහා පාලන මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය පෙබරවාරි 06 වනදා දක්වා අත්හිටුවමින් අභියාචනාධිකරණය අද (15) අතුරු නියෝගයක් නිකුත් කළේය.
ඒ සුදු බිත්තරයක් සඳහා රුපියල් 42ක් සහ රතු බිත්තරක් සඳහා රුපියල් 44ක උපරිම සිල්ලර මිලක් නියම කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගත් තීරණයට බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය අද එකඟ නොවීම හේතුවෙනි.
අධිකරණ තීරණයෙන් පසුව අද දිනයේම වෙළඳෙපොලේ බිත්තරයක මිල රුපියල් 57ක් දක්වා ඉහළ ගොස් තිබෙන අයුරු දක්නට ලැබුණි.
බිත්තර සඳහා උපරිම මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවීමට අභියාචනාධිකරණය ඊයේ තීන්දු කර තිබුණි.
මේ අතර බිත්තර සඳහා පාලන මිලක් නියම කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අත්හිටුවීමට අධිකරණය නියෝග කිරීමත් සමඟ වෙළඳපොළේ බිත්තර මිල ඉහළ ගොස් ඇත්දැයි අප සොයා බැලීය.
සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය අද සඳහන් කළේ, උත්සව සමය අවසන් වනතෙක් බිත්තරයක සිල්ලර මිල රුපියල් 55ක සීමාවේ තබාගත හැකි බවය.
මේ අතර ළමා මන්දපෝෂණය ඉහළ ගොස් ඇති බැවින් දරුවන්ගේ ප්‍රෝටීන අවශ්‍යතාවය සැපිරීම සඳහා බිත්තර මිල අඩු කරන්නැයි සෞඛ්‍ය ප්‍රධානීන් අද බදුල්ලේ පැවති ආහාර සුරක්ෂිතතා වැඩසටහනේදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.
එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, ආහාර සුරක්ෂිතතා වැඩසටහන සාර්ථක කරගැනීමට පක්ෂ, පාට භේදයකින් තොරව එක්විය යුතු බවය.
ආහාර සුරක්ෂිතතාවය හා පෝෂණය සහතික කිරීම සඳහා වන ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබල ගැන්වීමේ බහු ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණයේ බදුල්ල දිස්ත්‍රික් වැඩසටහන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණි.