රටේ ආර්ථිකයට පාසල්වල භෞතික සම්පත් යොදා ගැනීමට අවධානය
November 30, 2022 07:24 am
රටේ ආර්ථිකය නඟාසිටුවීම සඳහා පාසැල්වල භෞතික සම්පත් යොදා ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බව පාඨලී චම්පික රණවක මන්ත්‍රිවරයා පවසයි.
ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහා වන ජාතික සභා අනුකමිටුව රැස්වූ අවස්ථාවේ ඔහු මේ බව ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.
පාසල් සිසුන්ගේ පෝෂණය, ප්‍රවාහනය පිළිබඳ ගැටලු මෙන්ම ආර්ථික සංවර්ධනයට පාසැල් යොදා ගැනීමට ඇති හැකියාව සොයා බැලීම සඳහා විදුහල්පතිවරුන් සහ ගුරු නියෝජිතයන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ මහා භාණ්ඩාගාරයේ නියෝජිතයන් මෙම අනු කමිටුව හමුවට කැඳවා තිබුණි.
පාසල් සතු හිස් ඉඩම්වල බෝග වගා කිරීමේ හැකියාව පවතින බැවින් ගොඩනැගිලි හැර දිවයින පුරා පාසල්වලට අයත් ඉඩම් පිළිබඳ මැනීමක් සිදුකර එහි තොරතුරු ලබාදෙන ලෙස අනුකමිටුව, අධ්‍යාපන අමාත්‍යාංශයට නිර්දේශ කර තිබේ.
මීට අමතරව පාසල් ගොඩනැගිලි වහලය මත සූර්ය පැනල සවිකිරීමෙන් විදුලිය නිපදවිය හැකි අතර පාසල්වල විදුලි පරිභෝජනය වඩාත් ඵලදායි ලෙස කළමනාකරණය කිරීම සඳහා බලශක්ති කළමනාකරුවකු පත් කළ යුතු බවත් කමිටු සභාපති පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේය.
වඩාත් ඵලදායි සහ පාරදෘශ්‍ය යාන්ත්‍රණයක් සකස් කිරීමෙන් පාසල් සිසුන්ට ආහාර ලබාදීමේ ව්‍යාපෘතියකට විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ සහාය පවා ලබාගත හැකි බව පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.