උකුස්සාගේ හෙළිදරව්වෙන් පසු අද දෙරණ මාධ්‍යවේදියාට මරණ තර්ජන

උකුස්සාගේ හෙළිදරව්වෙන් පසු අද දෙරණ මාධ්‍යවේදියාට මරණ තර්ජන

September 18, 2022   09:36 pm

බොල්ගොඩ ජලාශයේ ආශ්‍රිතව සිදුවන මහා පරිමාණ පරිසර විනාශයක් පිළිබඳව "අද දෙරණ උකුස්සා" ඊයේ (17) අනාවරණය කළේය.

එම අනාවරණයෙන් පසු මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් අද එම ප්‍රදේශයට ගියේය. 

එහිදී අද දෙරණ මාධ්‍යවේදියාට පිරිසකගෙන් මැර ප්‍රහාරයක් එල්ලවුණි. 

බස්නාහිර පළාතේ විශාලතම තෙත්බිම වන බොල්ගොඩ ජලාශය කේන්ද්‍රකරගනිමින් එහි තැඹිලිවත්ත ප්‍රදේශයේ පරිසර පද්ධතියට හානිකර ලෙස හෝටලයක් ඉදිකෙරෙමින් පවතින බව අද දෙරණ උකුස්සා ඊයේ අනාවරණ කළේය. 

අදාළ හෝටලයට පිවිසීමට බෝට්ටු සේවයක් ආරම්භ කිරීමට ජලාශයේ ආරක්ෂිත කලාපයට හානි කරමින් ඇළ මාර්ගයක් ඉදිකර තිබූ අයුරු උකුස්සා එහිදී බලධාරීන්ගේ අවධානයට යොමු කර සිටියේය.

එම මහා පරිමාණ පරිසර විනාශය සිදුකරන්නේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු විසිනි.

ඒ අනුව, එම දැවැන්ත පරිසර විනාශය පිළිබඳව සොයා බැලීමට මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් අද එම ස්ථානය වෙත ගියේය.

පවතින තත්ත්වය නිරීක්ෂණය කළ ඔවුන් සඳහන් කළේ ජලාශය මැදින් ඇළ මාර්ගයක් කැපීම දැවැන්ත නීතිවිරෝධී ක්‍රියාවක් බවය. 

ඊට අදාළ  නීතිමය කටයුතු කඩිනමින් දැඩිව සිදුකරන බව මධ්‍යම පරිසර අධිකාරිය අවධාරණය කළේය.

එම අවස්ථාව වාර්තා කිරීමට එක්ව සිටි අද දෙරණ මාධ්‍යවේදියාට කාන්තාවක් ඇතුළු කිහිපදෙනෙකුගෙන් බාධා එල්ල වුයේ අදාළ සිදුවීම වාර්තා නොකරන ලෙස ඉල්ලමිනි.

නිරීක්ෂණයෙන් පසු පරිසර අධිකාරියේ නිලධාරීන් සහ අද  දෙරණ මාධ්‍යවේදීයාද එම ස්ථානයෙන් පිටව ආවේය. 

එලෙස පිටව ආ මාධ්‍යවේදියාගේ යතුරුපැදිය ලුහුබැඳ මෝටර් රථයක් පිළියන්දල නගරයට ආසන්න ස්ථානයකදී ඔහුගේ මඟ හරස් කොට නවතා ඇති අතර එහි සිටි හයදෙනෙකු ඔහුට මරණ තර්ජන කර  කැමරාවේ දර්ශන පටිගතවන චිපය ද බලහත්කාරයෙන් රැගෙන ගොස් තිබුණි.

අදාළ පාර්ශ්ව වෙතින් පවතින ජීවිත අවදානම නිසාම අද දෙරණ මාධ්‍යවේදියා මේ  පිළිබඳව පිළියන්දල පොලිසීයට පැමිණිල්ලක් ද සිදුකළේය.

ඒ අනුව පිළියන්දල පොලිසීය අද පස්වරුව වන විට ඊට අදාළ විමර්ශන කඩිනමින් ආරම්භ කළේය. 

එහි ප්‍රතිඵලයක් ලෙස CCTV කැමරා දත්ත සොයා ගැනීමට පොලිසීය සමත්වුණි.

ඉදිකෙරෙමින් පවතින අදාළ හෝටලයට යාබඳව පිළියන්දල කහපොල ප්‍රදේශයේ නිවසකදී අද පස්වරුවේ සිද්ධියට අදාළ කාන්තාවන් දෙදෙනකු ඇතුළු හය දෙනෙකු ඔවුන් භාවිත කළ වාහන දෙකද සමග පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 

එලෙස අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා මව සහ දියණිය බව වාර්තා වෙයි. 

එමෙන්ම අත්අඩංගුවට පත් අනෙක් සිව්දෙනා පරිසර විනාශය සිදුවන භූමියේ මත්පැන් පානය කරමින් සිටියදී පොලිස් අත්අඩංගුවට ගැණුනි.

මහා පරිමාණ පරිසර විනාශයක් වළක්වාගැනීම සඳහා අද දෙරණ උකුස්සා රට හමුවේ කළ අනාවරණය මැර තර්ජන මගින් මැඩපවත්වන්නට ඔවුන් උත්සාහ කරමින් සිටින බව පැහැදිලිය.

එහෙත් නීතියට පිටින් යමින්, මේ පරිසර විනාශය කරන ප්‍රබලයාගේ තර්ජනයට මුහුණ දීමටත්, ඒ සම්බන්ධයෙන් නීතිය හරියාකාරව ක්‍රියාත්මක වන තුරු නොනැවතී ඊට එරෙහිව ක්‍රියාකිරීමට උකුස්සා සූදානම්ය.

මධ්‍යම පරිසර අධිකාරයේ බලධරයිනි, පිළියන්දල පොලිසියේ නිලධරයිනි, අද දෙරණ උකුස්සා ඔබගේ පියවර දෙස විමසිල්ලෙනි.