කොරියානු රැකියා සිහිනය ඇති අයට විශේෂ දැනුම්දීමක්

කොරියානු රැකියා සිහිනය ඇති අයට විශේෂ දැනුම්දීමක්

August 23, 2022   08:51 am

දකුණු කොරියාවේ ධීවර ක්ෂේත්‍රයේ රැකියා සඳහා 2022 වර්ෂයේ පැවැත්වීමට නියමිත කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණය සඳහා විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ආරම්භ කර තිබේ.

2022.08.22 දින සිට 2022.08.26 දින දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ එය සිදුකිරීමට නියමිතය.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිළ වෙබ් අඩවිය වන www.slbfe.lk යන වෙබ් අඩවිය හරහා විභාගය සඳහා අවශ්‍ය කරන ප්‍රවේශපත්‍ර නිකුත් කරනු ලැබේ.

2022 වර්ෂයේ පැවැත්වෙන නිෂ්පාදන ක්ෂේත්‍රයේ භාෂා ප්‍රවීණතා විභාගය සඳහා විභාග ප්‍රවේෂපත් ලබාගත් අයදුම්කරුවන්හට මේ සඳහා ඉල්ලුම් කිරීමට අවස්ථාවක් නොලැබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි.

මේ සඳහා අවුරුදු 18-39ත් අතර පුද්ගලයින්ට අයදුම් කළ හැකි අතර, වර්ණ අන්ධතාවය නොමැති, සිරගතවීමක් හෝ බරපතළ වැරදිවලට වැරදිකරුවෙකු වී නොමැති, දකුණු කොරියාව මඟින් පිටුවහල් කළ බවට පෙර වාර්තා නොමැති පුද්ගලයින්ට අයදුම් කළ හැකිය.

විභාග ප්‍රවේෂපත්‍ර ලබාගැනීම සඳහා අයදුම්පත්‍රය, විදේශ ගමන් බලපත්‍රයේ ස්කෑන් පිටපතක්, මාස 3ක් ඇතුළත ලබාගත් 3.5 cm × 4.5 cm ප්‍රමාණයේ ඡායාරූපයක ස්කෑන් කළ පිටපතක් හා රු.10,108 ක විභාග ගාස්තුව ගෙවූ රිසිට් පත අවශ්‍ය වේ.

ධීවර ක්ෂේත්‍රයේ රැකියා සඳහා අවශ්‍ය භාෂා ප්‍රවීණතා විභාගය 2022 වසරේ ඔක්තෝම්බර් 5 දින සිට නොවැම්බර් 30 දින දක්වා පරිගණක ආශ්‍රිතව පැවැත්වේ. 

එම විභාගය හා විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් වැඩි විස්තර කාර්යාංශයේ නිල වෙබ් අඩවිය වන www.slbfe.lk යන වෙබ් අඩවිය හරහා ලබාගත හැකිය.