දෙදෙනෙකුට මරු කැඳවූ බස් අනතුර
July 11, 2022 04:06 pm
පුස්සැල්ලැව, ප්රෙට්රාසි වතුයායේ සිට පුස්සැල්ලාව නගරය දක්වා ධාවනය වෙමින් තිබු පෞද්ගලික බස් රථයක් අනතුරට ලක්වීමෙන් දෙදෙනෙකු මියගොස් තිබේ.
බස් රථයේ පාපුවරුවේ ගමන්ගත් දෙදෙනෙකු එලෙස මියගොස් ඇති බව "අද දෙරණ" වාර්තාකරු පැවසීය.
බස් රථයේ ගමන් ගත් තවත් 08 දෙනෙකු තුවාල ලබා පුස්සැල්ලාව රෝහල වෙත ඇතුළුකර තිබේ.
අද (11) උදැසන 10 පමණ මෙම අනතුර සිදුවී ඇත්තේ පුස්සැල්ලාව ප්රෙට්රාසි මාර්ගයේ කාචමලේ කම්බි වතු නිවාස අසලදීය.
ධාවනය වෙමින් තිබු බස් රථයේ ඉදිරිපස රෝදයේ ඇති වු කාර්මික දෝෂයක් හේතුවෙන් බස් රථය නතර කරගැනීම සඳහා රියදුරා විසින් බස් රථය පස් කන්දක ගැටීමට සලස්වා ඇති බව "අද දෙරණ" වාර්තාකරු පවසයි.
එම අවස්ථාවේ දී බස් රථයේ පාපුවරුවේ ගමන් ගත් දෙදෙනෙකු පස්කන්දේ ගැටීමෙන් මෙලෙස මියගොස් ඇති බව අප වාර්තාකරු පැවසීය.
අනතුරෙන් මියගොස් ඇත්තේ පුස්සැල්ලව ප්රෙට්රාසි වත්තේ පදිංචිව සිටි 26 හැවිරිද සහ 39 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.
අනතුර සිදු වු අවස්ථාවේ බස් රථයේ මගින් විශාල පිරිසක් ගමන්කරමින් සිට ඇති අතර අනතුරෙන් පසු රියදුරා පළාගොස් ඇත.
රියදුරු අත්අඩංගුවට ගැනීම සඳහා පුස්සැල්ලාව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
අනතුර සිදුවීමත් සමග ප්රකෝපකාරි වු ප්රදේශවාසීන් පිරිසක් බස් රථයට ගිනිතබා තිබේ.
අනතුර සම්බන්ධයෙන් පුස්සැල්ලාව පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.