කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිට නොතීසි

කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිට නොතීසි

December 13, 2024   06:14 pm

කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට ජනවාරි මස 31 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි නිකුත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස් සපුවිද මහතා අද (13) නියෝග කළේය.

2012 වසරේ ජනවාරි මස 24 වනදා බොරැල්ල මැගසින් බන්ධනාගාරය තුළ සිරකරුවන් අතර ඇතිවූ ගැටුම් වලින් රුපියල් ලක්ෂ පනස් දෙකකට අධික අනර්ථයක් බන්ධනාගාර දේපළවලට සිදු කළේ යැයි චෝදනා කරමින් විත්තිකරුවන් 54 දෙනකුට එරෙහිව ගොනුකර තිබූ නඩුව අද කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි. 

මෙම නඩුවේදී මතුවන ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා අපරාධ කොට්ඨාශයෙන් ප්‍රමාණවත් සහායක් නොලැබෙන බව පෙන්වා දුන් විනිසුරුවරයා අනතුරුව මෙම නියෝගය නිකුත් කළේය. 

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී ඇපමත මුදා හැර සිටි විත්තිකරුවන් පස්දෙනෙකු අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔවුන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා වරෙන්තු නිකුත් කරන ලෙසත් විනිසුරුවරයා නියෝග කළේය.

මෙම නඩුව ඉකුත් දිනයේ කැඳවූ අවස්ථාවේදී එහි විත්තිකරුවන් පිරිසක් වන්දි ගෙවා නඩු කටයුතු අවසන් කිරීමට එකඟ විය.

ඉන් අනතුරුව අදාළ නඩුව ජනවාරි මස 31 වනදා කැදවීමට අධිකරණය නියෝග කළේය.