ගෑස් අර්බුදයට හේතුව ලිට්‍රෝ සේවකයෝ කියති

ගෑස් අර්බුදයට හේතුව ලිට්‍රෝ සේවකයෝ කියති

June 12, 2022   06:40 pm

මෙරට ගෑස් සැපයුම සීමාවීමට බලපාන ලද්දේ සමාගම පාලනය කළ සභාපතිවරුන්ගේ අදූරදර්ශි ක්‍රියාකලාපය බව ලිට්‍රෝ සමාගමේ සේවකයින් පවසයි.

අද (12) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් එම සමාගමේ, වැඩසටහන් හා ප්‍රචාරක කළමනාකරු, පියල් කොළඹ හෙට්ටිගේ මහතා මේ බව කියා සිටියේය.

"2019 දී ලිට්‍රෝ සමාගම රු බි 20ක වත්කම් තිබූ ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, අද රු බි 10ක් ණයයි. ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමට බලපාලා තියෙන්නේ ඩොලර් ප්‍රශ්නයම නෙමෙයි. මේකට බලපාපු ප්‍රධාන සාධකය තමා අදූරදර්ශී, අඥානවත්, පසුගිය වසර කිහිපය තුළ සිදුවු පාලනය. අපිට ඇයි ගෑස් සැපයුම නතර වුණේ? අපිට ගෑස් සැපයුම් කරන්නේ මසකට ගෑස් මෙට්‍රික් ටොන් මිලියන 2කට වඩා වැඩියෙන් සපයන සමාගමක්. මේ තට්ටු මාරු සභාපතිලා බෝලේ පාස් කිරිල්ලෙන් වුණේ අපේ කලාපයේ හොඳම සැපයුම්කරුවාව අපි තරහා කරගත්තා. අනිල් කොස්වත්ත මහත්තයා ආවා ටික කාලයක් එතුමා මේක හරියට කළමනාකරණය කරගත්තේ නෑ. එතුමා ගියා. ඊට පස්සේ, තෙෂාර ජයසිංහ. එයා කළේ කලින් සභාපතිතුමා මාෆියා එකක් කළා කිව්වා. තෙෂාර ජයසිංහ තමා ලිට්‍රෝ ගෑස් සමාගමට හරියට ගෑස් නැවකවත් ගේන්න බැරි වුණ සභාපතිවරයා. එයා ගියාට පස්සේ ආවේ කවුද? විජිත හේරත්. එතුමත් කළෙත් මේ කලාපයේ ඉන්න හොඳම ගෑස් සැපයුම්කරුවාව තරහා කරගෙන මුල්‍ය කළමනාකරණය කරගන්නේ නැතුව එතුමත් ගියා. අද වෙලා තියෙන්නේ, ගෑස් නැව් මුහුදේ තිබුණට මේවට තීරණ ගන්න සභාපතිවරයෙක් නෑ. මේ වෙද්දි අපිට ආරංචි වෙලා තියෙනවා අගමැතිවරයා සහ සාගල රත්නායක මහත්තයා නමක් යෝජනා කරලා තියෙනවා මුදිත පීරිස්. 2019 රු බි 20කුයි ඉතිරි වුණ ඒවයි එක්ක මේ සමාගම අර සභාපතිලාට භාරදුන්න ඒ නායකයා තමා මුදිත පීරිස්. මම දන්න ඉතිහාසයේ එයා තමයි රජයටත් ආදායම් දීලා, සමාගමත් හොඳට කළමනාකරණය කරලා රටේ ජනතාවටත් සේවය කළේ. ලිට්‍රෝ ගෑස් සමාගමේ සමස්ත සේවකයෝ එතුමාගේ ආගමනය අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා. "

මේ අතර, මෙරට මුහුදු සීමාවේ නැංගූරම් ලා ඇති මෙට්‍රික් ටොන් 3,900ක් සහිත ගෑස් නෞකාව අද වන විට පස්වන දිනටත් ගෑස් ගොඩ බෑමට නොහැකිව නැංගූරම්ලා තිබේ.

ඒ ඊට අවශ්‍ය අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ගෙවීමට නොහැකිවීම හේතුවෙනි.

ඒ අනුව ලිට්‍රෝ සමාගම සිය ගෑස් බෙදීම නවත්වා අදට දින 05ක් ගත වේ.

මේ හේතුවෙන් ජනතාවට තවදුරටත් ගෑස් පෝලිම්වල රැඳී නොසිටින ලෙස ඉල්ලීම් කර තිබුණ ද අදත් දිවයිනේ ප්‍රදේශ රැසක දිගු ගෑස් පෝලිම් පැවතියේය.

මේ අතර ඊයේ අලුයම් කාලයේ බද්දේගම මහජන පොළේ සිදුවු ගෑස් බෙදාහැරීමක් අතරතුර ගැටුමක් හටගත්තා.

ඒ ගෑස් පෝලීමේ රැඳී සිටි ස්ථානය පිළිබඳව පුද්ගලයෙකු සහ තවත් පිරිසක් අතර ඇතිවු බහින්බස්වීමක් හේතුවෙනි.

මේ අතර පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් ලබා ගැනීමටද දිවයිනේ ප්‍රදේශ රැසක ජනතාව තවදුරටත් දිගු පෝලිම්වල රැඳිසිටී.