ලක්ෂ තුනහමාරක අල්ලසක් ගත් කාන්තාවක් අත්අඩංගුවට
December 12, 2024 12:49 pm
රුපියල් ලක්ෂ තුනහමාරක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් තලාතුඔය ප්‍රදේශයේ කාන්තාවක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කඩවත, ගෝනහේණ ප්‍රදේශයේ පදිංචිකරුවකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ඇයව මහනුවර, බෝගම්බර ක්‍රීඩාපිටිය ඉදිරිපිට ඇති වාහන රථගාලේ දී අත්අඩංගුවට ගෙන ඇත.
මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිරිමැටියවත්ත යන ඉඩම පැමිණිලිකරුට වගා කටයුතු සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව හරහා ලබාගැනීමට අවශ්‍ය රජයේ කටයුතු සිදුකරදීම වෙනුවෙන් අතරමැදියකු ලෙස කටයුතු කරමින් අදාළ කාන්තාව රුපියල් ලක්ෂ තුනහමාරක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා තිබුණි.
අත්අඩංගුවට ගත් සැකකාරිය මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.