සුරතල් සතුන් ඉන්න ඔබට සෞඛ්‍ය අංශයෙන් පණිවුඩයක්

සුරතල් සතුන් ඉන්න ඔබට සෞඛ්‍ය අංශයෙන් පණිවුඩයක්

June 8, 2022   08:03 am

සාමාන්‍ය පරිදි මෙරටට ඖෂධ ලැබීම ආරම්භ වන්නේ අගෝස්තු මස සිට බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඔහු වසන්නේ එම නිසා ඉදිරි මාස දෙක ඉතා ප්‍රවේශම් විය යුතු කාලසීමාවක් බවය.

එම කාලසීමව තුළ අත්‍යවශ්‍ය ඖෂධ තොග දානපතියන් මාර්ගයෙන් ලබා ගැනීමට කටයුතු කරන බව වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

මේ අතර පවතින ඖෂධ හිඟය හේතුවෙන් නිවෙස්වල ඇති කරන සුරතල් සතුන් මඟින් සිදුවන හානි අවම කර ගැනිමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්  වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

"අපි ජනතාවට කියන්න ඕනේ මේ වේලාවේ මේ කාලසීමාව ඉතා පරිස්සම්කාරී ලෙස ජීවත්වෙන්න ඕනේ. අපි දකිනවා සෑහෙන ප්‍රමාණයක් බල්ලෝ, පුසෝ වැනි සත්තුන්ව අනවශ්‍ය ලෙස හුරතල් කරන්න ගිහිල්ලා සපාකාලා නැත්නම් හූරගෙන එනවා. මං හිතන්නේ මේ කාලසීමාවේ දී අපි සියලුදේම දැනගෙන මම කියන්නේ ඒවා කරන්න එපා කියලා නෙමෙයි. ඉතාම සුපරික්ෂාකාරීව හැසිරෙනවා නම් ගොඩක් හොඳයි."

මේ අතර, දිවයින් පුරා අත්‍යවශ්‍යය බෙහෙත් වර්ග 188ක හිඟතාවයක් පවතින බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.

ඖෂධ නිෂ්පාදන, සැපයීම හා නියමන රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා අද දෙරණ BIG FOCUS වැඩසටහන සමග එක්වෙමින් මේ බව අනාවරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ, මේ වනවිට ජීවිතාරක්ෂක ඖෂධ වර්ග දෙකක් හිඟ බවය.

"බෙහෙත් හිඟතාවයට අලුතින් ඇති වුණ තත්ත්වය තමා බලපාලා තියෙන්නේ. විශේෂයෙන්ම අපිට ඩොලර් හිඟය මුලික වශයෙන් බලපාලා තියෙනවා. විශේෂයෙන්ම WHO ආයතනය ඩොලර් මිලියන 73ක්, බෙහෙත් දෙන්න අවශ්‍ය වැඩකටයුතු සම්පාදනය කරලා ක්‍රියාත්මක වෙමින් යනවා. ඒ වගේම ADB ආයතනය ඩොලර් මිලියන 60ක් ලබාදීලා ඒකත් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ අපි ඩොලර් මිලියන 126ක කටයුතු සිදුවෙමින් යනවා. මේ වනවිට අපේ රටේ ජීවිතාරක්ෂක ඖෂධ වර්ග දෙකක් හිඟයි. එකක් තමයි rabies serum එක. අනිත් එක Streptokinase එක. ඒක අපිට ගැටලුවක් වෙන්නේ නෑ. Streptokinase වෙනුවට ඊට වඩා හොඳ බෙහෙතක් තියෙනවා. ඒ වගේම rabies serum එක හෙට වෙද්දි අපිට ලැබෙනවා. මීට අමතරව අත්‍යාවශ්‍ය බෙහෙත් වර්ග 188ක හිඟයක් තියෙනවා. ඒ හිඟය මඟහරවා ගන්න මේ වනවිට කටයුතු කරමින් යනවා."