දිවයින පුරා සිදුකළ අපරාධ හා මත්ද්‍රව්‍ය මැඩලීමේ මෙහෙයුම්

දිවයින පුරා සිදුකළ අපරාධ හා මත්ද්‍රව්‍ය මැඩලීමේ මෙහෙයුම්

January 26, 2025   08:39 pm

2025 වසරේ ජනවාරි පළමු වනදා සිට 25 වනදා දක්වා කාලය තුල වාර්තා වූ මාරක රිය අනතුරු සංඛ්‍යාව 129 ක් බවත් එය පසුගිය වසරේ එම කාලය තුළ වාර්තා වී ඇති මාරක රියඅනතුරු සංඛ්‍යාව සමඟ සංසන්දනය කරන විට දින 24 තුළ මාරක රිය අනතුරු 26 ක අඩුවීමක් බවත් පොලීසිය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය අංශය සඳහන් කළේ 2024 වසරේ අදාළ කාලය තුල වාර්තා වූ මාරක රිය අනතුරු සංඛ්‍යාව 155 ක් බවය.

ශ්‍රී පොලීසිය පසුගිය දෙසැම්බර් මස 22 වනදා සිට රට තුළ මාර්ග විනයක් පවත්වා ගැනීම මෙන්ම අනතුරු අවම කර ගැනීම සඳහා විශේෂ රථවාහන මෙහෙයුමක් ආරම්භ කළේය.

මෙම මෙහෙයුම ආරම්භ කිරීමට ප්‍රථම දෛනිකව මාරක රිය අනතුරු මෙන්ම අනෙකුත් රිය අනතුරු වාර්තාවීම් විශාල වශයෙන් පැවැති බවත් ඒ අනුව,  එක් රිය අනතුරකින් පුද්ගලයින් හතරක් හෝ පහක් වැනි සංඛ්‍යාවක් මියයෑමේ අවස්ථාද වාර්තා වූ බව පොලීසිය පවසයි.

එමෙන්ම පසුගිය12 වනදා සිට අපරාධ හා මත්ද්‍රව්‍ය වැටලීමේ විශේෂ මෙහෙයුමක් ද ආරම්භ කළ කර තිබේ. 

ඒ අනුව, ගෙවී ගිය දින 13 ක කාල සීමාව තුළ දී පුද්ගල පරීක්ෂා කිරීම් 277,572 ක් හා වාහන පරීක්ෂා කිරීම් 104,844 ක් සිදු කර ඇත.

එමෙන්ම අපරාධ සඳහා සෘජුව දායක වූ නමුත් නීතිය මඟහැර සිටි පුද්ගලයන් 249 දෙනෙක් හා වරෙන්තුකරුවන් 4,020 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර, පසුගිය මාස 03 ක කාලය තුළ වෙඩි තබාගැනීමේ සිදුවීම් වලට සම්බන්ධ සැකකරුවන් 84 දෙනෙක්, සංවිධානාත්මක වෙඩි තබාගැනීම් සඳහා භාවිතා කළ ටී56 ගිනි අවි 03 ක්, පිස්තෝල අවි 05 ක් හා අපරාධ සඳහා යොදාගත් යතුරුපැදි පොලිස් භාරයට ගෙන ඇත. 

මෙම අපරාධ පිටුපස සිටින ප්‍රධානම අපරාධකරුවන් විදෙස්ගතව සිටිමින් මෙම ක්‍රියාවලිය මෙහෙයවන අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සහ ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ද අවශ්‍ය කටයුතු සිදුකරන බව පොලිස් නිවේදනයේ සඳහන් වේ.

එමෙන්ම පසුගිය මාස 03 ක කාල සීමාව තුළ, ගොඩබිමින් අල්ලා ගත් වැඩිම මත්ද්‍රව්‍ය ප්‍රමාණය අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ද එම නිවේදනයෙන් දැනුම් දී තිබේ.

සම්පූර්ණ නිවේදනය පහතින්,