කබ්රාල්ගේ විදේශ ගමන් තහනම දීර්ඝ කෙරේ

කබ්රාල්ගේ විදේශ ගමන් තහනම දීර්ඝ කෙරේ

May 5, 2022   04:31 pm

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව පනවා තිබූ විදේශ ගමන් තහනම මෙම මස 23 වනදා දක්වා දීර්ඝ කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය.

ඒ අනුව මෙම මස 23 වනදා ට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා යළි සිතාසි නිකුත්කරන ලෙසට ද මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

අජිත් නිවාඩ් කබ්රාල් මහතාට පසුගිය 2 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා මීට පෙර මහෙස්ත්‍රාත්වරයා විසින් සිතාසි නිකුත් කර තිබුණි. 

එහෙත් එදින රජයේ නිවාඩු දිනයක් බවට ප්‍රකාශ කිරීම හේතුවෙන් ඔහුට මේ මස 23 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින්  සිතාසි නිකුත් කර තිබේ.

හිටපු දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කළ පෞද්ගලික පැමිණිල්ලක් සලකාබැලීමෙන් අනතුරුව අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එලෙස අධිකරණය මගින් සිතාසි නිකුත් කරනු ලැබීය.

මහ බැංකු අධිපතිවරයා වශයෙන් කටයුතු කළ අවධියේ රජයේ මුදල් අවභාවිතා කළ බවට චෝදනා කරමින් චෝදනා 06ක් යටතේ අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව එම පුද්ගලික පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.