හිටපු ආණ්ඩුකාරවරියගේ ගැසට්ටුව නව ආණ්ඩුකාරවරයා අවලංගු කරයි

හිටපු ආණ්ඩුකාරවරියගේ ගැසට්ටුව නව ආණ්ඩුකාරවරයා අවලංගු කරයි

November 14, 2021   08:43 am

මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාව ධූරයෙන් ඉවත් කරමින් උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර පී.එස්.එම් චාල්ස් මහත්මිය විසින් ප්‍රකාශයට පත්කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කිරීමට උතුරු පළාත් නව ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා මහතා පියවර ගෙන තිබේ.

මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපති සාවුල් හමීඩ් මොහොමඩ් මුජාහීර් මහතා සම්බන්ධයෙන් විශ්‍රාමලත් අධිකරණ නිළධාරී කන්දයියා අරියනායගම් මහතා විසින් පරීක්ෂණයක් සිදුකර ලබාදුන් වාර්තාවකට අනුව සභාපතිවරයාව සභාපති ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් පහ කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවරිය පසුගියදා පියවර ගනු ලැබීය.

සැප්තැම්බර් මස 14 වන දින ක්‍රියාත්මක වන පරිදි අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් එවකට උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම් චාල්ස් මහත්මිය විසින් සැප්තැම්බර් මස 13 වන දින ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණි.

කෙසේ වෙතත් වත්මන් උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා මහතා විසින් ඔහුට පැවරී ඇති බලතලවලට අනුව  සාවුල් හමීඩ් මොහොමඩ් මුජාහීර් මහතා මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපති සහ සභික ධුරයෙන් ඉවත් කිරීමට ප්‍රකාශයට පත්කර තිබූ ගැසට් පත්‍රය අවලංගු කර තිබේ.

නොවැම්බර් මස 9 වන සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ගැසට් නිවේදනය අවලංගු කර ඇති බව වාර්තා වේ.