ශිෂ්‍යත්වය, උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර සැකසීමේ වෙනසක්

ශිෂ්‍යත්වය, උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර සැකසීමේ වෙනසක්

November 13, 2021   12:41 pm

කොවිඩ් වසංගත තත්ත්වයත් සමග පාසල් පැවැත්වීමට බාධා එල්ලවීම හේතුවෙන් ඉදිරි විභාග ප්‍රශ්න පත්‍ර සැකසීමේදී යම් සංශෝධනයන් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඒ ශිෂ්‍යත්වය, උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර සැකසීම සම්බන්ධයෙනි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් එල්.එම්.ඩී. ධර්මසේන මහතා,

"පාසල් වහන්නේ නෑ..වහන්න විදිහක් නෑ. විභාග තියා ගන්න ඕනේ. ලොකු ප්‍රශ්නයක් ආවොත් තමයි ගැටලුවක් වෙන්නේ. ජාතික අධ්‍යාපන ආයතනයෙන් ඉදිරියේදී නිකුත් කරනවා ශිෂ්‍යත්ව විභාගයට මෙන්න මේ විෂය කරුණු තමයි ඇගයීමට ලක්වෙන්නේ කියලා චක්‍රලේඛයකින්. දැනටමත් ගණනය කරලා තියෙන්නේ. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පිළිබඳවත් අධ්‍යයනය කරමින් පවතිනවා. ඒ කමිටුවලින් ලැබෙන නිර්දේශ අනුව දැනුවත් කිරීම් ළලමයින්ට කරන්න බලාපොරොත්තු වෙනවා. ලිහිල් කිරීමක් නෙමෙයි. මෙන්න මේ විෂය කොටස් ඇගයීමට ලක්වෙනවා කියලා."

11 ශ්‍රේණියේ සිට 13වන ශ්‍රේණිය දක්වා වූ පාසල් සිසුන්ගෙන් සියයට 73ක ප්‍රතිශතයකට කොවිඩ් එන්නත ලබාදී අවසන් බවද අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පැවසීය. 

මේ අතර කොවිඩ් අසාදිත මරණවල යම් ඉහළ යාමක් පෙන්නුම් කරමින් ඊයේ නව කොවිඩ් මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේය.

නොවැම්බර් මස 11 වැනිදා එනම් පෙරේදා දිනයේ කොවිඩ් මරණ 23ක් වාර්තාවී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ එලෙස තහවුරු කළේය.

ඒ සමග මෙරට සමස්ත කොවිඩ් මරණ 13,950 දක්වා ඉහළගොස් තිබේ.

මේ අතර ගතවු දිනයේ මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 723කි.

ඒ සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව  548,784ක් දක්වා ඉහළගොස් තිබේ.

කොවිඩ් මර්දන තෙවන එන්නත් මාත්‍රාව ලබාගත් මෙරට පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ඇත.

ඒ ඊයේ දිනයේ පුද්ගලයින් 8,298 දෙනෙකුට එන්නත් ලබාදීමත් සමගය.

ඒ අනුව මේ දක්වා ලබාදී ඇති තෙවැනි එන්නත් මාත්‍රා ගණන 105,816කි.

බණ්ඩාරවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පුද්ගලයින් 102 දෙනෙකුට ඊයේ සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලින් කොවිඩ් ආසාදිතයින් 37 දෙනෙකු හඳුනාගෙන තිබුණි.