එන්නත් ලබානොගෙන කාඩ්පත් පමණක් සටහන් කරගත් පිරිසක්
September 9, 2021 02:44 pm
කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන මධ්‍යස්ථානයක දී කාඩ්පත සටහන් කරගෙන එන්නත ලබානොගෙන පිටව යෑමට උත්සාහ කළ පුද්ගලයින් පිරිසක් පොලීසිය විසින් සිය භාරයට ගෙන තිබේ.
ඒ, ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ අද (09) සංවිධානය කර තිබූ එන්නත්කරණ මධ්‍යස්ථානයේදීය.
සයිනොෆාම් පළමු එන්නත් මාත්‍රාව සහ දෙවන එන්නත් මාත්‍රාව අද එම මධ්‍යස්ථානයෙන් ලබාදීමට සූදානම් කර තිබුණි.
එහිදී පිරිසක් එන්නත් ලබාගත් බවට සිය කාඩ්පත් සටහන් කරගෙන එන්නත ලබානොගෙන ඉන් පිටව යන බවට ඒ අසල රැඳීසිටි ආරක්ෂක නිලධාරීන්ට දැකගැනීමට හැකිවී තිබේ.
ඒ අනුව ඔවුන් රඳවා ප්‍රශ්න කිරීමේදී එන්නත් ලබානොගෙන කාඩ්පත් පමණක් සටහන් කරගෙන යන බව අනාවරණය වී ඇත.
පළමු එන්නත් මාත්‍රාව සඳහා ද එම පිරිස මෙම ක්‍රියාව සිදුකර ඇත්තැයි සැක කෙරෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය විමර්ශන සිදුකරයි.
එන්නත් මධ්‍යස්ථානයේ නිලධාරීන් සඳහන් කළේ මෙම ක්‍රියාව හේතුවෙන් සිය දත්ත පද්ධතියටත විශාල හානියක් සිදුවෙන බවය.
එමෙන්ම එන්නත් ලබාගත් පුද්ගලයින් සම්බන්ධයෙන් සිදුකරන අධ්‍යයනයන්ට ද ඉන් බාධා සිදුවෙන බව එම නිලධාරීන් පැවසීය.
