රිෂාඩ් බදියුදින් අධිකරණයට ඉදිරිපත් කළ හේතුව ?

රිෂාඩ් බදියුදින් අධිකරණයට ඉදිරිපත් කළ හේතුව ?

August 10, 2021   07:27 pm

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ බෝම්බකරුවන්ට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතා නඩු විභාගය අවසන් වන තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (10) නියෝග කළේය.

රැඳවුම් භාරයේ සිටි මන්ත්‍රිවරයා අද අධිකරණයට ඉදිරිපත් කෙරුණේ දින 111කට පසුව ය.

පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල කළ බෝම්බකරුවන්ට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රිවරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු විසින් අත්අඩංගුවට ගැනුණේ පසුගිය අප්‍රේල් 24 වනදා ය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ලබාගත් රැදවුම් නියෝගයකට අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මන්ත්‍රීවරයා රඳවාගෙන ප්‍රශ්න කළේය.

අද පෙරවරුවේ සෞඛ්‍ය තත්ත්ව පරික්ෂාවක් සඳහා සැකකාර මන්ත්‍රිවරයාව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට ඉදිරිපත් කෙරුණි.

සැකකාර රිෂාඩ් බදියුදින් මන්ත්‍රීවරයා කොටුව මහෙස්ත්‍රාත්වරයා හමුවට අද පස්වරුවේ ඉදිරිපත්කළ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට සඳහන් කළේ පාස්කු ඉරුදා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදි මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවාගත් ඉන්ෂාෆ් අහමඩ් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව රිෂාඩ් බදියුදින් නැමැති මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත්කරන බවය.

ඉන්ෂාෆ් අහමඩ් නැමැති ස්වයං ඝාතන බෝම්බකරුට අයත්ව තිබු "කොලෝසස්" නැමැති තඹ කර්මාන්ත ශාලාව හරහා තඹ අපනයනය කිරීමෙන් උපයාගත් මුදල් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට උපයෝගී කරගෙන ඇතැයි විමර්ශනවලදි හෙළිවී ඇති බව එම නිලධාරින් මහෙස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නේය.

ඔවුන් පැවසුවේ කොළඹ පෞද්ගලික බැංකුවක පිහිටි, එම සමාගමට අයත් ගිණුමකින් නිකුත් කළ රුපියල් ලක්ෂ 20ක මුදලක් ප්‍රහාරයෙන් පසු බෝම්බකරුවෙකුගේ බිරිඳක් සන්තකයේ තිබි සොයාගත් බවය.

මෙහිදී මහෙස්ත්‍රාත්වරයා විමසුවේ එම විමර්ශනය හා අද අධිකරණයට ඉදිරිපත්කර ඇති සැකකරු අතර කිනම් සම්බන්ධයක් පවතින්නේද යන්නය.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ සැකකාර මන්ත්‍රිවරයා කර්මාන්ත අමාත්‍යවරයාව සිටි සමයේ ඉහත කී තඹ කර්මාන්ත ශාලාවට නෛතික රාමුවෙන් බැහැරව විශාල ප්‍රමාණයෙන් තඹ නිකුත් කිරීමක් සිදුව ඇති බවය.

අමාත්‍යවරයා යටතේ සිටි අතිරේක ලේකම්වරයෙකු වූ බාලසුබ්‍රමනියම් නැමැත්තෙකු ඊට අවසර දී ඇති බවත් ඒ සඳහා අමාත්‍යවරයා ද මැදිහත්වීමක් සිදුකර ඇතැයි විමර්ශනවලදි හෙළි වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එමෙන්ම ප්‍රශ්නගත තඹ නිකුත් කිරීම සිදුව ඇති කාලය තුළ අදාළ අතිරේක ලේකම්වරයා, ස්වයං ඝාතක බෝම්බකරු සහ අමාත්‍යවරයා අතර පැවති දුරකථතන සම්බන්ධතා පිළිබඳ තොරතුරු ද විමර්ශනවලදි  හෙළිවූ බව ඔවුන් පැවසීය.

එක් අවස්ථාවකදී "කොලෝසස්" සමාගමට තඹ ලබාදීමට එවක ජනාධිපති ලේකම් උදය ආර්.සෙනෙවිරත්න මහතා විරෝධය පළකළ බවත් එහිදි ඔහු මුණගැසුණු එවකට අමාත්‍ය රිෂාඩ් බදියුදින් "ඇයි අපේ කට්ටියට කරදර කරන්නේ" යනුවෙන් විමසු බවත් සෙනෙවිරත්න මහතා ප්‍රකාශයක් දී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේය.

කරුණු සලකා බැලු කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා සැකකාර රිෂාඩ් බදියුදින් මන්ත්‍රිවරයා නඩු විභාගය අවසන් වන තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කළේය.

ඒ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරවය.

නඩුව මේ මස 18 වනදා යළි කැඳවීමට නියෝග කෙරුණි. 

රක්ෂිත බන්ධනාගාරගත කළ මන්ත්‍රිවරයා පසුව කොළඹ මැගසින් බන්ධනාගාරය වෙත රැගෙන එනු ලැබීය.