අන්තර් පළාත් බස් ධාවනය ඇරඹෙයි

අන්තර් පළාත් බස් ධාවනය ඇරඹෙයි

August 1, 2021   01:00 pm

අන්තර් පළාත් බස් රථ සේවා අද (01) සිට යළි ආරම්භ කර තිබේ.

රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි හෙට (02) සිට සේවයට කැඳවීමත් සමඟ පළාත් අතර පොදු ප්‍රවාහන සේවා ආරම්භ කිරීමට පියවර ගෙන ඇති අතර රාජකාරි කටයුතු සඳහා පිටත්ව යන පුද්ගලයින් පමණක් ප්‍රවාහන පහසුකම් සැලසීමේ අරමුණින් බස් හා දුම්රිය ධාවනය ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන බලධාරින් සඳහන් කළේය.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස්රථ ධාවන කටයුතු ද අද පෙරවරුවේ ආරම්භ වු අතර කොට්ටාව - මාකුඹුර බහුවිධි ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට ගාල්ල, මාතර, තංගල්ල, ඇඹිලිපිටිය ආදී ප්‍රදේශවලට අධිවේගී මාර්ගයේ බස්රථ ධාවනය සිදුකර තිබේ.

කෙසේවෙතත් මගීන්ගේ අඩුවක් දක්නට ලැබෙන බව බස්රථ සේවකයින් පවසයි.

මහනුවර නගරයේ සිට අද උදෑසන  දුර ගමන් සේවා බස්රථ ධාවනය ආරම්භ වූ බව "අද දෙරණ" ප්‍රාදේශීය වාර්තාකරු කමල් සුරවීර පැවසුවේය.

හෙට දිනයේ සිට  පළාත් අතර දුම්රිය ධාවනය ආරම්භ කිරීමට කටයුතු කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේය.