එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් දිවයිනට
July 4, 2021 06:30 am
තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් අද (04) අලුයම දිවයිනට රැගෙනවිත් තිබේ.
චීනයේ බීජිං නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල් 869 දරණ ගුවන් යානයෙන් එම එන්නත් මාත්‍රා තොගය දිවයිනට රැගෙනවිත් ඇති බව අද දෙරණ ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේය.
මෙම එන්නත් තොගය මෙරටින් මුදල් ගෙවා ලබාගත් සිව්වන එන්නත් මාත්‍රා තොගය වෙයි.
මේ අතර ෆයිසර් එන්නත් තොගයක් හෙට (05) උදෑසන දිවයිනට ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.
"මේ වනවිට චීනයෙන් අපිට ලැබුණු සමස්ත සයිනොෆාම් එන්නත් මාත්‍රා ප්‍රමාණය ලක්ෂ 51ක්. ඉන් ලක්ෂ 11ක් අපිට පරිත්‍යාග ලෙස ලැබිලා තිබෙනවා. ලක්ෂ 40ක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මිලදී අරගෙන තියෙනවා. හෙට උදෑසන ෆයිසර් එන්නත් මාත්‍රා 26,000ක් අපිට ලැබෙනවා. ඒ අනුව දකුණු ආසියානු කළාපයේ ෆයිසර් එන්නත මිලදී ගත් පළමු රට ශ්‍රී ලංකාව. මේ මාසයේ අවසන් සති දෙක ඇතුළත සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20ක් ගෙන්වා ගැනීම සඳහාත් අපි කටයුතු කරමින් යනවා. ගුරුවරුන්ටත් මේ මාසය ඇතුළත එන්නත් ලබාදීලා අවසන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා."
මේ අතර කොවිඩ් -19 ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ ඊයේ දිනය තුළ එන්නත් මාත්‍රා 63,704 ක් ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පැවසීය.
ඒ අනුව මේ දක්වා එන්නත්කරණ කටයුතු සිදුකර ඇති පුද්ගලයින් සංඛ්‍යාව 4,186,533 කි.
ඊයේ දිනය තුළ සයිනොෆාම් පළමු මාත්‍රාව පුද්ගලයින් 34,915 දෙනෙකු සහ දෙවන මාත්‍රාව පුද්ගලයින් 28,071 දෙනෙකු ලබාගෙන තිබේ.
මීට අමතරව කොවිෂීල්ඩ් දෙවන මාත්‍රාව පුද්ගලයින් 718 දෙනෙකු පමණක් ලබාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
මේ වනවිට සයිනොෆාම් එන්නතේ මාත්‍රා දෙකම පුද්ගලයින් 2,748,022 දෙනෙකු ලබාගෙන තිබේ.
කොවිෂීල්ඩ් එන්නතේ පළමු සහ දෙවන මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව 1,309,389 කි.
