තෙල් මිල වැඩිවීම - සාගර කාරියවසම්ට පිළිතුරු දීමට ගම්මන්පිල සැරසෙයි
June 13, 2021 12:47 pm
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා කළ ප්‍රකාශයට අද (13) දිනයේ පිළිතුරු ලබාදෙන බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ඊයේ නිවෙදනයක් නිකුත් කරමින් සදහන් කළේ ඉන්ධන මිල වැඩිකිරීම සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයා සෘජුව වගකිවයුතු බැවින් එහි සම්පූර්ණ වගකීම භාරගෙන ඉල්ලා අස්විය යුතු බවය.
එමෙන්ම මෙවන් අවස්ථාවකදී ජනතාව මත අතිරේක පීඩනයක් ඇති කිරීම නොකළ යුතු තත්ත්වයක් බවත් මෙම තත්ත්වය වෙනස් විය යුතු බවත් සිය පක්ෂයේ මතය බව එහි සඳහන්ව තිබුණි.
ඉන්ධන මිල පසුගිය 11වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට බලශක්ති අමාත්‍යාංශය පියවර ගත්තේය.
මිල ඉහළ දැමීමට පෙර මාධ්‍ය හමුවක් කැඳවූ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසුවේ මිල සංශෝධනයට ජීවන වියදම් අනුකමිටුව තීරණය කළ බවය.
ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතාට පිළිතුරු ලබාදීම සඳහා අද (13) පස්වරු 02 ට මාධ්‍ය හමුවක් පවත්වන බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ට්විටර් සටහනක් තබමින් සඳහන් කර තිබුණි.
