සිංහල දෙමළ අලුත් අවුරුද්ද - සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කෙරේ
April 3, 2021 02:10 pm
සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරීම සම්බන්ධයෙන් වූ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව නිකුත් කර තිබේ.
එම මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත්කර ඇති අතර එහි සම්පූර්ණ විස්තර පහතින් දැක්වේ.
ඒ අනුව, සිදුකළ හැකි චාරිත්‍ර වාරිත්‍ර, හැකිතාක් දුරට අවම කළයුතු ක්‍රියාකාරකම්, එක් එක් අවුරුදු ක්‍රීඩා පැවැත්වීමේදී සැලකිලිමත්විය යුතු කරුණු, අවුරුදු සමයේ ආරක්ෂිත ලෙස සාප්පු සවාරි, ගමන් බිමන් යෑමේදී අනුගමනය කළ යුතු උපදෙස් ආදී වශයෙන් ඉන් පැහැදිලිකර තිබේ.
ඒ යටතේ අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඉටු කිරීමේදී නව සඳ බැලීම, පරණ අවුරුද්ද සඳහා ස්නානය, අවුරුදු දිනයේ ආහාර පිසීම, වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම සහ ආහාර අනුබවය මෙන්ම හිසතෙල් ගෑම ඇතුළු අවුරුදු චාරිත්‍ර නිවසේ සිට සිදුකළ යුතුයි.
පුණ්‍ය කාලයේදී හැකිතාක් දුරට නිවසට වී ආගමික වතාවත්වල නිරත විය යුතු අතර පන්සල් හෝ කෝවිල්වලට යන්නේ නම් සෞඛ්‍යාරක්ෂිත පුරුදු අනුගමනය කළ යුතු වේ.
එමෙන්ම නිවසේ පුද්ගලයන් සියලුදෙනා එකට එක්ව අවුරුදු ක්‍රීඩා කළ හැකී.
මේ අතර හැකිතාක් දුරට අවම කළයුතු ක්‍රියාකාරකම් කිහිපයක් ද මෙම මාර්ගෝපදේශයන්ට ඇතුළත් වේ.
ඒ අනුව නෑදෑගමන් යාම, කැවිලි හුවමාරු කරගැනීම, නිවස පිටත බොහෝ පිරිසක් එකතු වී අවුරුදු උත්සව පැවැත්වීම අවම කළ යුතුය.
එමෙන්ම අවුරුදු උත්සවය සංවිධානය කිරිමේදී පරිශ්‍රයක එක් වරකට පුද්ගලයින් 100 දෙනෙකුට අඩු ප්‍රමාණයක් තබාගැනීම මෙන්ම එය ප්‍රදේශයේ ජනතාවට පමණක් සීමා කිරීමට සංවිධායකයින් වගබලා ගත යුතුය.
සංගීත සංදර්ශන පැවැත්විම නව මාර්ගෝපදේශ මාලාවට අනුව සුදුසු නොවන කටයුත්තකි.
ඒ අනුව අලුත් අවුරුදු උත්සවවලදී කඹ ඇඳීම, කොට්ටාපොර ගැසිම යන තරග නොපැවැත්විය යුතුය.
පාපැදි ධාවන තරගයේදී හා මැරතන් තරගයේදී තරගකරුවන් එකම ජල බෝතලය කිහිපදෙනෙකු අතර හුවමාරුකර ගැනීමෙන් වැළකිය යුතු අතර තරගකරුවන්ට සහයෝගය ලබාදීම සඳහා සෙසු පුද්ගලයින් පසුපස ගමන් නොකළ යුතුය.
බනිස් කෑමේදී පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනීම කෙරෙහි අවදානය යොමු කරමින් වැඩිහිටි හා ළමුන් සඳහා වෙන වෙනම තරග පැවැත්විය යුතුය.
අලියාට ඇස තැබීමේදි එක් එක් තරගකරු සඳහා වෙන වෙනම ඇස් ආවරණ ලබා දිය යුතු අතර තරගය සඳහා යොදා ගනු ලබන පෑන එක් තරගකරුවෙකු භාවිතයෙන් පසු විෂබීජහරණය කළ යුතු වේ.
කණාට කිරි කැවීමේ තරගයේදි එක් එක් තරගකරු සඳහා වෙන වෙනම ඇස් ආවරණ ලබා දිය යුතු අතර කිරි කවන පුද්ගලයා මුහුණු ආවරණයක් පැළඳීම අනිවාර්යය කටයුත්තකි.
අවුරුදු කුමරා කුමරිය, රබන් ගැසීම, විකට ඇඳුම්, ඔළිඳ කෙලිය පංච දැමිම හා පොල්ගෑම, පොල් අතු විවීම යන තරගවලදි පුද්ගල දුරස්ථභාවය පවත්වා ගනිමින්, මුහුණු ආවරණ පැලඳීම සිදු කළ යුතුය.
අවුරුදු සමයේ සාප්පු සවාරි සහ ගමන් බිමන් යාමේදී සුපුරුදු කොවිඩ් සෞඛ්‍ය පුරුදු පිළිපැදිය යුතු බව අලුත් අවුරුද්ද වෙනුවෙන් නිකුත් කළ නව මාර්ගෝපදේශමාලාවෙන් පෙන්වා දී තිබේ.





