කාලගුණ බලධාරීන් ජනතාවගෙන් කළ ඉල්ලීම
December 4, 2020 02:16 pm
''බුරවි'' සුළි කුණාටුව මේ වනවිට දිවයිනෙන් ඉවතට ගමන් කළ ද, එහි වක්‍ර බලපෑම් හේතුවෙන් අදත් (04) දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි සහිත කාලගුණයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව ''බුරවි'' සුළි කුණාටුවේ වක්‍ර බලපෑම නිසා උතුර, උතුරු මැද සහ වයඹ පළාත්වලට තවදුරටත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි
අද දිනයේත් දිවයිනේ උතුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල නිරතවීමෙන් වළකින ලෙසද එම දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.
''බුරවි'' සුළි කුණාටුව පෙරේදා (02) රාත්‍රියේ මෙරට ඊසාන දිග වෙරළේ තිරයෙන් සහ කුච්චවේලී අතරින් දිවයිනට ඇතුළු වී පසුදින අලුයම වන විට දිවයිනෙන් බැහැරට ගමන් කළේය.
සුළි කුණාටුවෙන් මන්නාරම, යාපනය, කිලිනොච්චිය, මුලතිව්, වව්නියාව, ත්‍රිකුණාමලය, කෑගල්ල, රත්නපුරය, බදුල්ල, මහනුවර, මාතලේ සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලට බලපෑම් එල්ල වූ අතර ඉන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 44,848 කි.
නිවාස 50 කට පූර්ණ හානි සහ නිවාස 2,148 කට අර්ධ හානි සිදුවී ඇති අතර පුද්ගලයින් 10,559 ක් මේ වනවිට ආරක්ෂිත ස්ථානවල රඳවා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.
මේ අතර අධික වර්ෂාව හේතුවෙන් උතුරු පළාතේ කුඩා වැව්වල බැමි කැඩීයාමේ අවදානමක්ද මතුවී තිබේ.
ඒ හේතුවෙන් වව්නියාව නෙඩුන්කේනි සහ වැලිඔය ප්‍රදේශවල අවදානම් වැඩි වැව් බැමි ආරක්ෂා කිරීමට ආරක්ෂක අංශ වැලි කොට්ට යෙදීමට කටයුතු කරමින් සිටි.