පොලිස් නිලධාරියාව හප්පා පළාගිය වාහනය හමුවේ

පොලිස් නිලධාරියාව හප්පා පළාගිය වාහනය හමුවේ

November 29, 2020   11:49 am

දැඳුරු ඔයේ සිදුවන වැලි ජාවාරමක් වැටලීමට ගිය පොලිස් කොස්තාපල්වරයෙකු වැලි ජාවාරමට යෙද වූ ටිපර් රථයකට යටකර ඝාතනය කිරීමේ සිද්ධිය විමර්ශනයට විශේෂ පොලිස් කණ්ඩායම් 2ක් පත්කර තිබේ.

අනතුර සිදුකළ ටිපර් රථය අතහැර දමාගොස් තිබියදී අද (29) පෙරවරුවේ සොයා ගැනුණු අතර පළාගිය එහි රියදුරු මේ වනවිටත් හඳුනාගෙන ඇති බව පොලීසිය පැවසුවේය.

දැඳුරු ඔයේ නීතිවිරෝධී වැලි ගොඩදැමීමක් සිදුවන බවට කොබෙයිගනේ පොලීසියට ලද ‍‍තොරතුරක් මත පොලිස් නිලධාරීන් 5දෙනෙකු ඊයේ (28) මධ්‍යම රාත්‍රියේ අදාළ ස්ථානයට ගොස් තිබුණි.

ඔවුන් එලෙස ගොස් තිබුණේ දැඳුරු ඔයේ ''හාතලව'' නම් ස්ථානයටය.

වැලි ජාවාරම්කරුවන් මෙම ස්ථානය හඳුන්වන්නේ ''පන්සල් මංකඩ තොටුපල'' ලෙසය.

එම අවස්ථාවේදී වැලි පටවා ගත් ටිපර් රථයක් ඉදිරියට පැමිණ තිබූ අතර පොලිස් නිලධාරීන් රථය නවත්වන්නැයි සංඥා කර තිබේ.

ඊට අවනත නොවූ ටිපර් රථ රියදුරු , රථය නොනවත්වා ඉදිරියට ධාවනය කරමින් එක් පොලිස් නිලධාරියෙක් යටකර එම ස්ථානයෙන් පළාගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

ඉන් බරපතළ තුවාල ලැබූ පොලිස් නිලධාරීයා නිකවැරටිය මූලික රෝහල වෙත රැගෙන ගියත් ඔහු ඒ වනවිටත් ජීවිතක්ෂයට පත්ව තිබුණි.

අනතුරින් මියගියේ කොබෙයිගනේ පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ නිකවැරටිය අඹගම්මන ප්‍රදේශයේ පදිංචිව සිටි දෙදරු පියෙක් වන 32 හැවිරිදි නදීප් ආකාෂ් රත්නායක නම් පොලිස් කොස්තාපල්වරයාය.