පොලිස් නිලධාරී සිතුම් දුලීකගේ අවසන් කටයුතු බදාදා

පොලිස් නිලධාරී සිතුම් දුලීකගේ අවසන් කටයුතු බදාදා

June 15, 2020   09:51 pm

කොළඹ ජාතික රෝහලේ මුදල් කොල්ලය ව්‍යාර්ථ කළ පොලිස් නිලධාරියාට මරු කැඳවූ  රිය අනතුර සම්බන්ධයෙන් චෝදනා එල්ල වන සැකකාර නීති සිසුවා ජුනි 19 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ රථවාහන මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළේය.

අනතුරෙන් මිය ගිය රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල් සිතුම් අලහප්පෙරුම මහතාගේ දේහය අද (15) පොලොන්නරුවේ පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන එනු ලැබුවේය.

එමෙන්ම මියගිය කොස්තාපල්වරයා ඊයේ (14) සිට බලපැවැත්වෙන පරිදි පොලිස් සැරයන් ධුරයට උසස් කෙරුණු බව පොලිස් මූලස්ථානය නිවේදනය කළේය.

ඉකුත් ජුනි 11 වැනිදා රාත්‍රියේ තුම්මුල්ල ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ගමන්ගත් යතුරු පැදියක් ඩිෆෙන්ඩර් රථයක ගැටී සිදුවූ අනතුරින් යතුරු පැදියේ ගමන් ගත් 22 හැවිරිදි පොලිස් කොස්තාපල් සිතුම් අලහප්පෙරුම මහතා ජීවිතක්ෂයට පත්වුණි.

ඔහු පසුගිය ජුනි 09 වැනිදා කොළඹ ජාතික රෝහලේ රුපියල් ලක්ෂ 79 ක මුදලක් මංකොල්ල කා පලා ගිය කොල්ලකරු හඹා ගොස් අත්අඩංගුවට ගත් නිලධාරින්ගෙන් එක් අයෙකි.

පොළොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි අවිවාහක පුද්ගලයෙක් වන ඔහු දරුවන් දෙදෙනෙකුගේ යුත් පවුලේ බාලයාය.

පොලිස් කොස්තාපල්වරයාගේ දේහය අද අළුයම 1.30 ට පමණ  පොලොන්නරුව සෙවණපිටිය , ගිනිදමන ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන ආවේය.

පොලිස් කොස්තාපල්වරයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළැඹෙන බදාදා සවස ගිනිදමන පොදු සුසාන භූමියේදී පොලිස් ගෞරව සහිතව සිදුකිරීමට නියමිතය.

අනතුරින් තුවාල ලද අනෙක් පොලිස් නිලධාරියා මේ වන විටත් කකුලවලට සිදුවූ බරපතළ තුවාල සහිතව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

මේ අතර අනතුර සිදු වන අවස්ථාවේ අදාළ ඩිෆෙන්ඩර් රථය පැදවූ 24 හැවිරිදි නීති ශිෂ්‍යයෙකු අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණි.

එහිදී අතිරේක මහේස්ත්‍රාත් එස්.ප්‍රභාකරන් මහතා නියෝග කළේ සැකකරුව ජුනි 19 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසය.