සුරතලාගේ ඉවෙන් සොයා ගත් බිළිඳු මළ සිරුර-කතක් අත්අඩංගුවට

සුරතලාගේ ඉවෙන් සොයා ගත් බිළිඳු මළ සිරුර-කතක් අත්අඩංගුවට

March 2, 2020   06:46 pm

තියුණු ආයුධයකින් ඝාතනය කරන ලද බිළිදෙකුගේ මළ සිරුරක් අද(02) දින සොයාගත් බව මීගහතැන්න පොලීසිය පවසයි. 

මීගහතැන්න පොලිස් වසමට අයත් පැලවත්ත හොරණ, පේරුව ප්‍රදේශයේ ස්ථාන දෙකක කොටස් වශයෙන් තිබී සොයා ගෙන ඇති මෙම මළ සිරුර අලුත උපන් බිලිදෙකුගේ බව මීගහතැන්න පොලීසිය සඳහන් කළේය.

මෙම ප්‍රදේශයේ නිවසක ඇති කරන සුනඛයකු විසින් මියගිය බිළිඳාගේ හිස සහිත අත් පා නොමැති ඉන ප්‍රදේශයෙන් ඉහළ කඳ කොටස ගෙනැවිත් තිබියදී, නිවෙස් හිමියා දැක ඒ බව පොලිස් හදිසි ඇමතුම් ඒකකයට 119 දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව එම ස්ථානයට ගිය පොලීසිය ප්‍රදේශවාසීන්ගේ ද සහයෝගය ඇතිව, අසල ලඳු කැලෑවක අතහැර දැමූ පැරණි වැසිකිලි වලක් තුළ තිබී සිරුරේ තවත් කොටස් සහ රෙදි කැබලි සොයා ගත් බව පොලිසිය සදහන් කරයි. 

අදාළ සිද්ධියට සම්බන්ධ යැයි සැක පිට සිද්ධිය වූ ස්ථානයට නුදුරින් පදිංචිව සිටි තිස් හය හැවිරිදි විවාහක කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

මෙම මළ සිරුර නිවසට රැගෙන ආ 'චන්ඩි' නමින් හඳුන්වන සුනඛයාට විහිළුවට මෙන් කථා කර සිරුරේ අනිකුත් කොටස් කොහේදැයි  විමසූ අවස්ථාවේදී, වහා සුනඛයා අසල ළඳු කැලෑව තුළට ගිය බවත්, එසේ, මීටර් තුන්සියයක් පමණ ගොස් අනෙකුත් සිරුරු කොටස් තිබූ වැසිකිලිවල අසල නැවතුණු බවයි.

සුනකයාගේ මග පෙන්වීම නිසා සැකකාරිය පිළිබඳ ඉක්මනින්ම තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවූ  බව ද හෙතෙම වැඩි දුරටත් පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් මීගහතැන්න පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.