පැය 24කදී රිය අනතුරු මරණ 6ක්

පැය 24කදී රිය අනතුරු මරණ 6ක්

January 20, 2020   07:28 pm

ගත වූ පැය 24 තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු 4කින් පුද්ගලයින් හයදෙනෙක් මියගොස් විසිපස්දෙනෙකු තුවාල ලැබුවේය.

ඉන් සිව්දෙනෙකුට මරු කැඳවූ දරුණු රිය අනතුර වාර්තා වූයේ කතරගම - කොළඹ ප්‍රධාන මාර්ගයේ හුංගම,බටඅත ප්‍රදේශයේදීය.

කතරගම - කොළඹ ප්‍රධාන මාර්ගයේ හුංගම,බටඅත කෘෂි උද්‍යානය ඉදිරිපිටදී මෙම අනතුර සිදුවුණේ ඊයේ(19) රාත්‍රියේය.

හුංගම සිට රන්න දෙසට ධාවනය වූ ටිපර් රථයක් ත්‍රිරෝද රථයකට ඉස්සර කිරීමට යාමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් ආ පෞද්ගලික බස් රථයක මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුවුණි.

තුවාලකරුවන් කඩිනමින් ඇතුළත් කෙරුණේ රන්න රෝහලටයි.

ඉන් බරපතළ තත්වයේ පසුවූවන් වැඩිදුර ප්‍රතිකාර සඳහා තංගල්ල මූලික රෝහලට මාරු කර යැවුණි.

එම පිරිසෙන් සිව්දෙනෙකු රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලිසිය පවසයි.

ඒ අතරින් තිදෙනෙකු අම්බලන්තොට වැලිපටන්වෙල ප්‍රදේශයේ පදිංචිව සිටි එකම පවුලේ සාමාජිකයන්ය.

71 හැවිරිදි ඒ.පී.ආරියදාස, ඔහුගේ දියණිය වන 32 හැවිරිදි ඒ.පී.ඉරේෂා සහ මිණිබිරිය වයස අවුරුදු 3ක් වන නිශාදි සෙව්වන්දි අනතුරින් මියගියේය.

මියගිය අනෙක් පුද්ගලයා වන්නේ අනතුරට පත් බස් රථයේ රියදුරායි.

එමෙන්ම ටිපර් රථයේ රියදුරු ,බස් රථයේ ගමන්ගත් පුද්ගලයින් 7දෙනෙක්, කාන්තාවන් 7දෙනෙක් සහ ළමුන් පස්දෙනෙකු ඇතුළුව තුවාල ලැබු 20දෙනෙක් මේ වනවිටත් තංගල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.

බස් රථය විනෝද චාරිකාවක් ගොස් යළි අම්බලන්තොට දක්වා ගමන් කරමින් සිටි බවයි වාර්තා වෙයි.

අද දෙරණ වාර්තාකරු පවසන්නේ ටිපර් රථයේ රියදුරු බීමතින් සිට ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇති බවයි.

අනතුර සම්බන්ධයෙන් හුංගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මහනුවර සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස්රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රිරෝද රථයක ගැටී තවත් අනතුරක් අද අලුයම සිදුවුණේ කෑගල්ල ගලිගමුවේදීය.

ත්‍රිරෝද රථයේ මගීන් දෙදෙනා එම ස්ථානයේදීම මියගිය අතර එහි රියදුරු බරපතළ තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කෙරුණි.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ ඔහුගේ තත්වයද බරපතළ බවයි.

මෙම අනතුරින් මියගියේ මහනුවර, කෙංගල්ල, මල්පාන ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි සම්පත් පුෂ්පකුමාර රාජපක්ෂ නම් තරුණයෙකු සහ ඔහුගේ ඥාතියෙක් වන 26 හැවිරිදි කුමුදු කුමාරි දිසානායක නම් කාන්තාවයි.

මීට සතියකට පෙර විවාහ වී ඇති ඇය , විදෙස්ගතවූ සිය සැමියා කටුනායක ගුවන්තොටුපළ වෙත ඇරලවා යළි පැමිණෙන අතරයි අනතුරට මුහුණ පා ඇත.

කෑගල්ල පොලිසිය විසින් මූලික විමර්ශනවලින් අනාවරණ කරගැනුණේ ඇත්තේ ත්‍රිරෝද රථයේ රියදුරාට නින්ද යාම අනතුරට හේතුව බවයි.

ප්‍රතිවිරුද්ධ දෙසින් ඉදිරියට ඇදී එන ත්‍රිරොද රථය දුටු ලංගම බස් රථයේ රියදුරා රථය නවතාගන්නට උත්සාහ කළ ද ත්‍රිරෝද රථය අධික වේගයෙන් පැමිණ ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් බස් රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණි.

මේ අතර අම්බලන්ගොඩ වේනමුල්ල දුම්රිය හරස් මාර්ගය මතින් ධාවනය වූ සුඛෝපබෝගී බස් රථයක් මාතර සිට කොළඹ බලා පැමිණි රුහුණු කුමාරි දුම්රියේ ගැටී තවත් අනතුරක් සිදුවූයේ අද පෙරවරු 7.30ට පමිණි.

ඉන් බස් රථ රියදුරු තුවාල ලබා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කෙරුණි.

අදදෙරණ වාර්තාකරු පැවසුවේ එම දුම්රිය හරස් මාර්ගයේ ආරක්ෂිත දුම්රිය ගේට්ටු නොමැති වුවත් දුම්රිය පැමිණෙන බවට වූ වර්ණ සංඥා සහ සංඥා නාද එහි ක්‍රියාත්මක වන බවයි.

මේ අතර ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ අම්බලන්ගොඩ ඌරවත්ත ප්‍රදේශයේදී තවත් අනතුරක් සිදුවුණේ බස් රථයක් සහ කුඩා ලොරි රථයක් එකිනෙක ගැටීමෙන්ය.

අනතුරින් තුවාල ලැබූ තිදෙනෙකු බලපිටිය මූලික රෝහලට ඇතුළත් කෙරුණි.