ලෝක හමුදා ක්‍රීඩා තරගාවලියේ රිදී සහ ලොකට පදක්කම් 3ක් ලංකාවට

ලෝක හමුදා ක්‍රීඩා තරගාවලියේ රිදී සහ ලොකට පදක්කම් 3ක් ලංකාවට

October 30, 2019   11:06 am

චීනයේ පැවති 5 වන ලෝක හමුදා ක්‍රීඩා තරගාවලියට සහභාගී වීම සදහා ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින්  එරටට ගොස් සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් , සිය ජයග්‍රහණ ද රැගෙන ඊයේ (29) සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

මෙම තරගාවලිය මේ මස එනම් 18 දින සිට 27 දින දක්වා චීනයේ වූහාන් නුවර පවත්වා තිබුණි.

මෙයට ශ්‍රී ලාංකික ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 105 දෙනෙකු සහභාගී වී සිටි අතර, ඔවුන් අතරින් තිදෙනකු විශේෂ ජයග්‍රහණ ලබා ගැනීමට සමත් වීය.

එහිදී කාන්තා මීටර් 800 ඉසව්ව සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් සහභාගී වූ කෝප්‍රල් නිමාලි ලියනාරච්චි  ක්‍රීඩිකාව රිදී පදක්කම දිනා ගැනීමට සමත් වී ඇත. 

මීට අමතරව කාන්තා හෙල්ල විසි කිරීමේ ඉසව්වට සහභාගී වූ ශ්‍රී ලංකා යුද හමුදාවේ බලලත් නිලධාරී නදීකා ලක්මාලි සහ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වට සහභාගී වූ ශ්‍රී ලංකා යුද හමුදාවේ කාර්මික සෙබළ සුමේධ රණසිංහ ද එම තරග ඉසව් වලින් ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් වීය.

මෙම ක්‍රීඩක පිරිස ඊයේ සවස 6.40 ට චීනයේ ග්වැන්ෂෝ සිට පැමිණි චයිනා සදර්න් ගුවන් සේවයේ සී.ඉසෙඩ්.- 3059 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව අද දෙරණ වාර්තාකරු පවසයි.

ඔවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වල උසස් නිලධාරීන් මෙන්ම , මෙම ක්‍රීඩකයන්ගේ නෑදෑ හිතවතුන් විශාල පිරිසක් ද ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.