රනිල් සජිත් රඟපාන්නේ රයිගමයයි ගම්පොලයයි චරිත දෙක–ගුණදාස අමරසේකර

රනිල් සජිත් රඟපාන්නේ රයිගමයයි ගම්පොලයයි චරිත දෙක–ගුණදාස අමරසේකර

October 29, 2019   09:14 pm

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා විජාතික බලවේගවල මෙහෙයවීමෙන් රයිගමයා සහ ගම්පලයාගේ චරිත රඟදක්වමින් සිටින බව ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ජාතික සංවිධාන එකමුතුව විසින් අද(29) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමරසේකර මහතා මේ බව පැවසීය.

වැඩිදුරටත් පවසා සිටියේ ඇමෙරිකාව ප්‍රමුඛ විජාතික බලවේග විසින් මෙහෙයවනු ලබන මෙම නාටකයේ සජිත් ප්‍රේමදාස මහතාට තමා ශ්‍රේෂ්ඨ ජන නායකයෙක් මෙන්ම බෞද්ධ නායකයෙකු ලෙස රඟ දක්වන චරිතයත්, තම දෑත් පිරිසිදු බව පවසමින් සජිත් ප්‍රේමදාස නගන චෝදනා ගනන් නොගෙන සිටීමේ චරිතය රනිල් වික්‍රමසිංහ මහතාට රඟ දැක්වීම සදහා ලබා දී ඇති බවයි.

මෙම මාධ්‍යහමුවේදී නීතිඥ කල්‍යානන්ද තිරාණගම, වෛද්‍ය වසන්ත බණ්ඩාර, වෛද්‍ය නිමල් කරුණාසිරී, සමාජ ක්‍රියාකාරිනී අනුරාධා යහම්පත් යන මහත්ම මහත්මීහුද අදහස් පළ කළහ.