පෘතුගාලයෙන් එවු මත් පෙති තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
July 30, 2019 09:27 pm
රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් වටිනා එක්ස්ටසි නැමැති ජනප්‍රිය නාමයෙන් හදුන්වන මත් පෙති තොගයක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙතින් රැගෙන යෑමට පැමිණි තරුණයෙකු අද (30) සවස රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.
කොළඹ 14 , ලෙයාර්ඩ් බ්‍රෝඩ්වේ හි පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකුගේ නමට පෘතුගාලයේ සිට එවා තිබූ සෙල්ලම් බඩු පෙට්ටියක් භාර ගැනීමට මෙම පුද්ගලයා අද සවස කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත පැමිණ ඇත.
එහි සේවය කළ රේගු නිලධාරීන්ට මෙම පාර්සලය පිළිබඳව සැක සිතී , එය විවෘත කර පරීක්ෂා කර බලත්දී , එම සෙල්ලම් බඩු බහා තිබූ පෙට්ටියෙහි ඇතුළු පැත්තේ මෙම මත් පෙති තොගය සඟවා ඇති බව සොයා ගන්නා ලදී.
මෙතැම්ෆටමයින් යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන මෙම මත්ද්‍රව්‍ය පෙත්තක් රුපියල් 5,000 ක් වැනි මිලකට නාගරික සමාජ ශාලා තුළ එහි පැමිණෙන තරුණයන් හට අලෙවි කරන බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අනාවරණය කර ගෙන තිබේ.
මෙම පෙට්ටිය තුළ එක්ස්ටසි මත්ද්‍රව්‍ය පෙති 3,050 ක් සගවා තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම මත්ද්‍රව්‍ය පෙති තොගය සමඟ ඒවා රැගෙන යෑමට පැමිණි පුද්ගලයා ද අත් අඩංගුවට ගෙන රේගු නිලධාරීන් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටිති.