රට පුරා ජනතාව උත්සවශ්‍රීයෙන් අලුත් අවුරුදු සමරයි

රට පුරා ජනතාව උත්සවශ්‍රීයෙන් අලුත් අවුරුදු සමරයි

April 14, 2019   06:42 pm

රට පුරා ජනතාව සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අද(14) දිනයේ උත්සවශ්‍රීයෙන් සමරනු ලැබුවේය.

අපරභාග 2.09ට යෙදුණු සුබමොහොතින් මෙවර අලුත් අවුරුද්ද උදා වූ අතර ආහාර පිසීමේ නැකත උදා වී තිබුණේ අපරභාග 2.42ට ය.

මෙවර අලුත් අවුරුද්දේ වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය අපරභාග 3.54ට යෙදී තිබුණි.

දිවයින පුරා ජනතාව දේශීය චාරිත්‍රවලට මුල්තැන දෙමින් මෙවර අලුත් අවුරුද්ද සැමරූ බව අද දෙරණ වාර්තාකරුවන් සඳහන් කළේය.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ පිහිටි ජනාධිපති නිල නිවසේදී අලුත් අවුරුද්ද සමරනු ලැබුවේය.

මතින් නිදහස් රටක් ගොඩනැගීම සඳහා ගෙනයන වැඩපිළිවෙල සාර්ථක කරගැනීමට සියලුදෙනාගේ සහයෝගය අපේක්ෂා කරන බවයි අලුත් අවුරුද්ද සදහා සුබපැතුම් එක්කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.

මේ අතර මෙවර සිංහල අලුත් අවුරුද්ද නිමිත්තෙන් පැළයක් සිටුවා මතු පරපුරත් පරිසරයත් වෙනුවෙන් තම පුරවැසි වගකීම ඉටුකිරීමට එක්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මෙවර සිංහල දෙමළ අලුත් අවුරුදු නැකැත් අතරට පැල සිටුවීමේ නැකත ද එක් කර ඇති අතර තුන්පොකුරු යෝගය යෙදී ඇති අප්‍රේල් 15 වන සදුදා හෙට දින පුර්වභාග 11.17ට මෙම නැකත යෙදි තිබේ.

ශ්වේත වර්ණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා පැල සිටුවීම සිදුකළ යුතු වෙයි.

ඒ සම්බන්ධයෙන් ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදහස් පල කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද අලුත් අවුරුද්ද නිමිත්තෙන් අද පෙරවරුවේ නුවරඑළිය ප්‍රදේශයේ ආගමික වතාවත්වල නිරත වී තිබේ.

පුණ්‍යෙ කාලයේ දී අග්‍රාමාත්‍යවරයා නුවරඑළිය මාගස්තොට ශ්‍රී සේනානන්දරාම විහාරස්ථානයට ගොස් ආගමික වතාවත්වල නිරත වු බවයි අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

එහිදි අලුත් අවුරුද්ද නිමිත්තෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සුබපැතුම් ද එක් කරනු ලැබුවේය.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද අද දිනයේ තංගල්ලේ පිහිටි කාල්ටන් නිවසේ දී අලුත් අවුරුද්ද සමරනු ලැබුවේය.

විපක්ෂ නායකවරයා සමඟ අලුත් අවුරුද්ද සැමරීම සඳහා පවුලේ සාමාජිකයින් මෙන්ම ප්‍රදේශවාසීන් ද එක්ව සිටි බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

අලුත් අවුරුදු චාරිත්‍රවලට අනුව හිසතෙල් ගෑම ලබන බදාදා පුර්ව භාග 7.40ට යෙදී ඇති අතර පලාවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත් ද පයට කොලොං පත් ද තබා කොහොඹ පත් යුෂ මිශ්‍ර නානුද ගා ස්නානය කිරීම මැනවි බව නැකත් පත්‍රයේ සඳහන් වෙයි.

රැකි රක්ෂා සඳහා පිටත්ව යාම අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා ට පූර්ව භාග 4.52ට යෙදී තිබේ.

පලාවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී හකුරු සහ තලමෝරූ මිශ්‍ර කිරිබත් අනුභව කොට නැගෙනහිර දිශාව බලා පිටත්විය යුතු බවයි  අලුත් අවුරුදු නැකැත් පත්‍රයේ සඳහන් වෙයි.