එජාප ජනාධිපති අපේක්ෂකයාට ජය නියතයි-අකිල
March 25, 2019 05:53 pm
ඉදිරි ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාගේ ජයග්‍රහණය නියත බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
මී ළඟ ජනාධිපතිවරණය සම්බන්ධ ව මේ දිනවල විශේෂයෙන් විවිධ කතාබහ පැතිරෙමින් පවතින අතර, පොදුජන පෙරමුණේ අපේක්ෂකයා තේරීම සිදුකරනුයේ රාජපක්ෂ පවුල විසින් බවත්, රාජපක්ෂ සමාගම හැර පොදුජන පෙරමුණට ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ හැකි වෙනත් අපේක්ෂකයෙක් නොමැති බවත් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා තෝරන්නට කෘත්‍යාධිකාරී මණ්ඩලයක් පවතින බවත්, කෘත්‍යාධිකාරී මණ්ඩල සාකච්ඡාවකින් පසු සියලු දෙනාගේ කැමැත්ත පදනම් කරගනිමින් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා තෝරාගැනෙන බවත්, එක්සත් ජාතික පක්ෂයට නායකයන් පිළිබඳ ප්‍රශ්නයක් නොමැති බවත් මහලේකම්වරයා තවදුරටත් කරුණු දක්වමින් කියා සිටියේය.
මෑතක දී එක්තරා මාධ්‍ය ආයතනයක් විසින් එක්සත් ජාතික පක්ෂයෙන් අපේක්ෂකයන් දෙදෙනෙක් ඉන්නා බවට මතයක් ගොඩනැගීමට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් වශයෙන් තමා සිදුකළ ප්‍රකාශයක් හුවාදක්වමින් කටයුතු කළ බවත්, කිසිවිටෙකත් තමා එවැන්නක් ප්‍රකාශ නොකළ බවත්, අකිල විරාජ් අමාත්‍යවරයා සඳහන් කළේය.
අදාළ මාධ්‍ය ආයතනය විසින් එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා වශයෙන් ජනාධිපතිවරණය සම්බන්ධ ව තම මතය විමසා සිටි බවත්, එහි දී අනෙක් පාර්ශවයෙන් එක් අපේක්ෂකයකු පමණක් නොව, දෙදෙනෙක් සිටිය ද එක්සත් ජාතික පක්ෂයට ජය නියත යැයි, තමා සඳහන් කළ බවත් මහලේකම්වරයා අවධාරණය කළේය.