විදුලිය කපන්න අද සිට කාලසටහනක්

විදුලිය කපන්න අද සිට කාලසටහනක්

March 25, 2019   06:50 am

විදුලි විසන්ධි කිරීම් පිළිබඳව අද(25) දිනයේ සිට කාල සටහනක් ප්‍රකාශයට පත් කිරීමට විදුලිබල මණ්ඩලය පියවර ගෙන තිබේ.

ජල පෝෂක ප්‍රදේශවලට පවතින වැසි රහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් විදුලි උත්පාදනය සීමාවීම මෙන්ම පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් විදුලි ඉල්ලුම ඉහළ යාම මෙලෙස විදුලි කප්පාදු කිරීමට හේතු වී ඇති බව විදුලි ඉංජිනේරුවරුන් සඳහන් කළේය.

පසුගිය දින කිහිපය පුරා දිවයිනේ විවිධ ප්‍රදේශවල විදුලිය විසන්ධි වීම් වාර්තා වු අතර නොදන්වා විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් ජනතාව දුෂ්කරතාවට පත් වුණි.

කෙසේවෙතත් පවතින විදුලි අර්බුදය හමුවේ අද සිට දෛනිකව විදුලි කප්පාදුව සිදුවන ආකාරය පිළිබඳ කාල සටහනක් හදුන්වාදීමට විදුලිබල මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව දහවල් කාලයේ පැය 03ක් සහ රාත්‍රී කාලයේ පැයක් ලෙස දිනකට අවස්ථා දෙකක් සෑම ප්‍රදේශයකටම විදුලි සැපයුම අත්හිටුවනු ඇත.

පෙරවරු 8.30 සිට පෙරවරු 11.30 දක්වා පෙරවරු 11.30 සිට පස්වරු 2.30 දක්වා හෝ පස්වරු 2.30 සිට පස්වරු 5.30 දක්වා දහවල් කාලයේ විදුලිසැපයුම අත්හිටුවීමට නියමිතයි.

රාත්‍රී කාලයේදී සවස 6.30 සිට රාත්‍රී 7.30 දක්වා රාත්‍රී 7.30 සිට රාත්‍රී 8.30 දක්වා හෝ රාත්‍රී 8.30 සිට රාත්‍රී 9.30 දක්වා විදුලි සැපයුම අත්හිටුවීමට නියමිත බව විදුලිබල මණ්ඩලය සඳහන් කළේය.

විදුලි කප්පාදු සම්බන්ධයෙන් විදුලි ඉංජිනේරුවරුන්ගේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා මෙලෙස අදහස් පළ කළේය.