ලංකාවේ කුඹුරු පරිගනකයේ සිතියම් ගත වෙයි

ලංකාවේ කුඹුරු පරිගනකයේ සිතියම් ගත වෙයි

February 6, 2019   04:14 pm

ශ්‍රී ලංකාවේ පවතින කුඹුරු ඉඩම් චන්ද්‍රිකා තාක්ෂණයෙන් පරිගණක සිතියම්කරණය කිරීම මේ වන විට ආරම්භ කර තිබේ.

ගොවිජන සේවා මධ්‍යස්ථානයන්හි දැනට පවතින කුඹුරු නාමලේඛනයන් නිවැරදි සංඛ්‍යාලේඛන දත්තවලින් තොරවීම හේතුවෙන් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පසුගිය කාලය තුළ විවිධ ගැටළුවලට මුහුණ පා ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථික කටයුතු පශුසම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී හැරිසන් මහතා මේ බව සඳහන් කර තිබේ.

මේ හේතුව නිසා ඇතැම් ග්‍රාම නිලධාරි කොට්ඨාසවල කුඹුරුලාභීන්ගේ භූමි ප්‍රමාණය නිර්ණයේදී නිවැරදි භූමි ප්‍රමාණය සටහන් නොවීම නිසා පොහොර සහනාධාරය ලබා දීම කුඹුරු ඉඩම් සඳහා වගා හානි ලබා දීම මෙන්ම වාර්ෂික අපේක්ෂිත අස්වැන්න පිළිබඳ වාර්තා සැකසීමට ද මින් බාධාවක් වී ඇති බව අමාත්‍යවරයා නිලධාරීන්ට පවසා තිබේ.

ඒ අනුව ලංකාව පුරා පවතින කුඹුරු කැබලි මිලියන 02ක (මහවැලි ඉඩම් හැර) ප්‍රමාණය නිසි ආකාරයෙන් අධි සංඛ්‍යාත චන්ද්‍රිකා ඡායාරූප යොදා ගෙන කුඹුරු නාම ලේඛනය පරිගනක ගතකරණය හා සිතියම්කරණයෙහි අවශ්‍යතාවය අමාත්‍යවරයාට පෙන්වා දී තිබේ.

වර්ල්ඩ් වීව් ටූ ඇමරිකානු චන්ද්‍රිකාව උපයෝගී කරගෙන ඒ අනුව ගම්පහ, යාපනය හා මාතලේ දිස්ත්‍රික්කයන්හි මේ වනවිට කුඹුරු ඉඩම් සිතියම් ගත කොට පරිගනක දත්තවලට ඇතුළත් කර ඇති බව එහිදී ප්‍රධාන ඉංජිනේරු ප්‍රභාත් විතාරණ මහතා අමාත්‍යවරයාට දැනුම් දී ඇත.

මෙතෙක් සිතියම් ගත නොවූ කුඩා ඇළ මාර්ග, පොදු කමත්, දිය උල්පත්, කෘෂි මාර්ග ද මෙමඟින් සිතියම් ගත කළ හැකි බවත් මිනිස් ශ්‍රමය අල්ප වශයෙන් යොදා ගැනීම හා සිතියම්ගත කිරීමට වැයවන මුදල අවම වීම විශේෂත්වයක් බව ඉංජිනේරුවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ගම්පහ චන්ද්‍රිකා තාක්ෂණය යොදාගෙන සිතියම්කරණය සඳහා රුපියල් මිලියන 05ක් වැය වී ඇති බව දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ලංකාව තුළ කුඹුරු ඉඩම් හැකි ඉක්මනින් පරිගනක සිතියම්ගත කරන ලෙස අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.