සයුරෙන් එතෙර
විපතට පත් මියන්මාරයේ ජනතාවට ඉන්දියාවෙන් සහනාධාර
March 29, 2025 10:13 am
ප්‍රබල භූ කම්පනයකින් පීඩාවට පත් මියන්මාරයේ ජනතාව වෙනුවෙන් ටොන් 15ක සහනාධාර තොගයක් ප්‍රදානය කිරීමට ඉන්දියාව පියවර ගෙන ඇත.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, භූ කම්පනයෙන් සිදුවූ ආපදා හමුවේ මියන්මාරයේ හමුදා පාලනය ජාත්‍යන්තර සහාය අපේක්ෂා කර සිටි බවත් ඊට කඩිනමින් ප්‍රතිචාර දක්වමින් ඉන්දියාව මෙම සහනාධාර තොගය එවා තිබූ බවය.
මියන්මාරයේ හමුදා පාලනයත් සමග මියන්මාරය සහ ජාත්‍යන්තරය අතර පවතින සබඳතා පළුදුවූ පසුබිමක මෙම ඉල්ලීම කර තිබීම ද විශේෂත්වයකි.
ඉන්දියාව ලබාදුන් සහන ද්‍රව්‍යවලට කූඩාරම්, නිදන මලු, පොරෝන, ආහාර, ජල පිරිපහදු යන්ත්‍ර, සනීපාරක්ෂක කට්ටල, ජෙනරේටර් කට්ටල සහ ඖෂධ, ප්‍රතිජීවක, අත්වැසුම් ඇතුළු තවත් අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් ඇතුළත් වෙයි.
මියන්මාරයේ පැරණි අගනගරයක් වූ මැන්ඩලේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් එරට වේලාවෙන් ඊයේ (28) පස්වරු 12:50ට පමණ ඇතිවූ මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 7.7ක් ලෙස සටහන් වී තිබුණි.
භූ කම්පනයෙන් එරට මියගිය සංඛ්‍යාව මේ වනවිට 694ක් දක්වා ඉහළ ගොස් ඇති අතර තුවාල ලැබූ සංඛ්‍යාව 1,670ක් පමණ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.