පාකිස්තානයේදී එල්ලවූ ප්‍රහාරයට චීනය ප්‍රතිචාර දක්වයි
සයුරෙන් එතෙර

පාකිස්තානයේදී එල්ලවූ ප්‍රහාරයට චීනය ප්‍රතිචාර දක්වයි

March 27, 2024   03:43 pm

පාකිස්තානයේදී චීන ජාතිකයින් ඉලක්ක කර එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් අවශ්‍ය බව චීනය පවසා තිබේ.

පාකිස්තානයේ වයඹදිග ප්‍රදේශයේ වේල්ලක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක සේවය කරමින් සිටි චීන ඉංජිනේරුවන් පිරිසක් ගමන්කරමින් සිටි රථ පෙළකට ඊයේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කර තිබුණි.

අධිබලැති පුපුරණ ද්‍රව්‍ය පිරවූ රථයක් චීන ජාතිකයින් ගමන්කළ රථ පෙළේ හැප්පීමට සලස්වා මෙම ප්‍රහාරය එල්ලකර ඇත.

එම ප්‍රහාරයෙන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබූ අතර මෙය සතියක් තුළ පාකිස්තානයේ පිහිටි චීන සම්බන්ධතා සහිත ස්ථානවලට එල්ලකළ තුන්වැනි ප්‍රහාරය වෙයි.

චීන ජාතිකයින් ගමන් ගත් වාහනයේ රියදුරා පාකිස්තාන ජාතිකයෙකු වන අතර ඔහු තුවාල ලබා රෝහල්ගත කර සිටියදී මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පාකිස්තානයේ චීන තානාපති කාර්යාලය මෙම ප්‍රහාරය දැඩිව හෙළාදැක ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා අපරාධකරුවන්ට දැඩි දඬුවම් ලබාදෙන ලෙසත් තානාපති කාර්යාලය රජයෙන් ඉල්ලා තිබේ.