
කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නව සොයාගැනිම් ගොවින් අතරට ගෙනයාම සඳහා යාන්ත්‍රණයක් අවශ්‍ය බව කෘෂිකර්ම, ග්‍රාමිය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමට සහභාගී වෙමිනි.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් පළ කළේය
කෘෂිකර්ම ක්ෂේත්‍රය තුළ නව සොයාගැනීම් බොහොමයක් සිදු වෙනවා. නමුත් ඒවා සමාජය වෙත නිසියාකාරයෙන් සම්ප්‍රේෂණය වීමක් සිදු වන්නේ නෑ. විශේෂයෙන් ගොවීන් වෙත මෙම දැනුම ගෙන යා යුතුයි.
නවීන තාක්ෂණය කෘෂිකර්මාන්තයට යොදා ගත යුතුයි. ඒ නිසා නවීන තාක්ෂනය සහ නව සොයාගැනීම් ගොවීන් වෙත ගෙනයාම සඳහා යාන්ත්‍රණයක් සකස් කිරීම ඉතා වැදගත්.
කෘෂිකර්මය පිළිබඳ දැනුම සහිත නිලධාරීන් කොපමණ සිටියත් ගොවීන් ඔවුනගෙන් නිසි ප්‍රයෝජන ලබාගැනීමට උනන්දුවක් දක්වන්නේ නැහැ. වගාවට අවශ්‍ය පොහොර, රසායනික ද්‍රව්‍ය පිළිබඳ වෙළෙන්දාගෙන් විමසීමටයි ගොවීන් පෙළඹෙන්නේ.
මේ තත්ත්වය වෙනස් කළ යුතුයි. කෘෂිකර්ම උපදේශකවරුන් සහ ගොවීන් අතර මනා සම්බන්ධතාවයක් පවත්වාගැනීම තුළින් මෙම ගැටළුව විසඳා ගත හැකියි.
රට තුළ වගා කරන බෝග පිළිබඳ නිවැරදි තොරතුරු අප සතුව තිබිය යුතුයි. ගොවීන් වගා කරන්නේ මොනවාද, කොපමණ ප්‍රමාණයක් වගා කරනවාද යනාදී වශයෙන් එම තොරතුරු සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ලබාගැනීම ගොවියාට, වෙළෙන්දාට මෙන්ම පාරිභෝගිකයාටත් එය ඉතා වැදගත්.
රසායනික පොහොර භාවිතයේදී ගොවීන් ඉවක් බවක් නොමැතිව කටයුතු කරන ආකාරයක් පෙනෙනවා. අනවශ්‍ය ආකාරයෙන් පොහොර එකතු කිරීම නිසා වැව් විනාශ වෙනවා.
එයින් ජලාශවල බැරලෝහ තැන්පත් වෙනවා. පසට යොදන පොහොර වැව්වලට එකතුවීමෙන් වැව්වල ඉතා සීඝ්‍රයෙන් සැල්වීනියා, ජපන්ජබර වැනි ආක්‍රමණික ශාඛ ව්‍යාප්ත වෙනවා."


















































