Back to Top

මොකක්ද මේ කෝප්?

November 10, 2016  

මොකක්ද මේ කෝප්?


සටහන
සුරෝෂන ඉරංග

කෝප් (COPE) හෙවත් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (The Committee on Public Enterprises) සම්බන්ධයෙන් මේ දිනවල සමාජයේ දැඩි අවධානය යොමුවී තිබේ. එහෙත් සමාජයේ බොහෝ පිරිසක් තුළ මෙම කෝප් කමිටුව සම්බන්ධයෙන් සැබෑ අවබෝධයක් පවතින්නේද යන්න සැක සහිතය. එබැවින් මේ ඒ පිළිබඳ තබන සටහනකි.

රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳ වගකීම පැවරී ඇත්තේ පාර්ලිමේන්තුවටය. විශේෂයෙන්ම රාජ්‍ය ආයතන ක්‍රියාත්මක වන්නේ මහජන මුදලින් වන බැවින් ඒ සම්බන්ධව සොයා බැලීමේ වගකීම පාර්ලිමේන්තුව සතුවේ. රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳ පාර්ලිමේන්තුව සතු බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ XVII වන පරිච්ඡේදය තුළ අන්තර්ගත වේ. එහි 148, 149, 150, 151 හා 154 ආදී වගන්තිවල මේ සම්බන්ධයෙන් වන විධිවිධාන අන්තර්ගත වේ.

කෙසේ වුවත් පාර්ලිමේන්තුව සතුව පවත්නා අධික කාර්යයන් ප්‍රමාණය හේතුවෙන් සහ සෑම කාර්යයකටම යෙදවිය හැකි කාලය සීමා සහිත බැවින් යම් යම් කාර්යයන් සම්බන්ධ වගකීම් සමස්ත ව්‍යවස්ථාදායක සභාවේ විශ්වාසය දිනා ගත් විශේෂ කණ්ඩායම් ඔස්සේ ඉටු කර ගැනීම සඳහා කාරක සභා නැමැති ක්‍රමවේදය යොදාගනු ලබයි. මෙම ක්‍රමය ව්‍යවස්ථාදායක සභාවේ කාර්යයන් කාර්යක්ෂම කර ගැනීම සදහා හේතු වන අතරම ඵලදායී ක්‍රමවේදයක් ද වේ.



මෙරට පාර්ලිමේන්තුව තුළ ද ක්‍රියාත්මක වන මෙම කාරක සභා ක්‍රමවේදය එහි මව් පාර්ලිමේන්තුව වන නියෝජිත මන්ත්‍රී මණ්ඩලය මත පදනම්ව බිහිවී තිබේ. ඒ අනුව මෙම ක්‍රමය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ආරම්භයේ සිටම ව්‍යවස්ථාදායක සභාවේ කටයුතු පහසු කර ගැනීම සඳහා භාවිත වී ඇති ක්‍රමයක් බව පැවසිය හැකිය.

මෙම කාරක සභා පත් කිරීමේ බලය වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 74 වන වගන්තිය යටතේ පිළිගෙන ඇත. එසේම පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග තුළ ද කාරක සභා සම්බන්ධව විධිවිධාන ඇතුළත් වේ. ඒ අනුව ස්ථාවර නියෝග අංක 86 සිට ස්ථාවර නියෝග අංක 129 තෙක් කාරක සභා පිළිබඳව දැක්වේ.

මෙරට පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක වන කාරක සභා වර්ග ප්‍රධාන අංශ ද්විත්වයක් යටතේ වර්ග කර දැක්විය හැකිය. එනම් ස්ථාවර කාරක සභා සහ තත් කාර්ය කාරක සභා වශයෙනි. ඒ යටතේ ස්ථාවර කාරක සභා පත් කිරීම ස්ථාවර නියෝග අනුව කථානායකවරයා විසින් සිදු කරනු ලබයි. එසේම අදාළ කාර්යයන් අවසන් වූ පසුව ද ඒවා ක්‍රියාත්මක වේ. එනම් ඒවායේ නිල කාල සීමාවේ යම් ස්ථාවරත්වයක් පවතී. එහෙත් තත් කාර්ය කාරක සභා එසේ නොවන අතර නියමිත කාර්යය අවසන් වූ වහාම ඒවා අහෝසි වීම සිදුවේ. එම කාරක සභා ක්‍රියාත්මක වීම සිදු වන්නේ වරින් වර එම කාරක සභාවලට පවරනු ලබන කාර්යයන් ඉටු කිරීම සඳහා වීම එයට හේතුව වේ.



පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාවට අමතරව වෙනත් කාරක සභා වර්ග කිහිපයක් ද ක්‍රියාත්මක වේ. ඒ විශේෂ කාරක සභා, උපදේශක කාරක සභා, උපදේශක අනුකාරක සභා, ස්ථාවර කාරක සභාව හා විශේෂ කාර්යයන් සඳහා වන කාරක සභා යනුවෙනි. එම කාරක සභා අතරින් මෙම ලිපිය තුළ විශේෂයෙන් සාකච්ඡාවට බඳුන් කරනු ලබන පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව විශේෂ කාර්යයන් සඳහා වන කාරක සභා ගණයට අයත් වේ.

පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව ස්ථාපනය කරන ලද්දේ 1979 වර්ෂයේ ජූනි 21 වන දිනය. මෙහි කාර්යය වන්නේ රාජ්‍ය සංස්ථාවල සහ යම් ලිඛිත නීතියක් යටතේ ආණ්ඩුවට පැවරී ඇති වෙනත් ව්‍යාපාරවල ගිණුම් ද ඒ ගිණුම් පිළිබඳ විගණකාධිපතිවරයාගේ වාර්තා ද පරික්ෂා කිරීමය. එහි අරමුණ වන්නේ රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවල මූල්‍ය විනය පවත්වාගෙන යාම සහතික කිරීමය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 126 හි සඳහන් වන පරිදි පාර්ලිමේන්තු සැසිවාරයක් ආරම්භයේ දී පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පත් කරනු ලබයි. පක්ෂ සංයුතිය නියෝජනය වන ආකාරයට එහි සාමාජිකයින් පත් කිරීම සිදුවේ. කාරක සභාවේ ප්‍රථම සැසිවාරයේදීම එහි සාමාජිකයින් විසින් සභාපතිවරයෙකු පත් කර ගැනීම සිදු වන අතර කාරක සභාවේ ගණ පූර්ණය 4 ක් වේ.



මෙම කාරක සභාව විසින් රාජ්‍ය සංස්ථා සහ අනෙකුත් ව්‍යාපාර ආයතනවල පරික්ෂාවට ලක් කරන ලද ගිණුම්, අයවැය හා වාර්ෂික ඇස්තමේන්තු, මුදල් තත්ත්වය හා කළමනාකාරිත්වය පරික්ෂා කර පාර්ලිමේන්තුවට වාර්තා කළ යුතුය. තවද කාරක සභාවට වාර්තා කිරීම පිණිස කාරක සභාවට අවශ්‍ය යැයි හැඟෙන අවස්ථාවල කාරක සභාවේම සාමාජිකයින්ගෙන් සමන්විත අනුකාරක සභා පත් කර ගැනීමේ බලය ද ස්ථාවර නියෝග අනුව මෙම කාරක සභාවට ලැබී තිබේ.  එසේම එම ආයතනවල ගිණුම් විගණකාධිපතිවරයා විසින් විගණනයට ලක් කිරීම ද සිදු කරනු ලබන අතර එමඟින් කාරක සභාවේ කාර්යයන්ට අවශ්‍ය පදනම සකස් වීම ද සිදුවේ. විශේෂයෙන්ම කාරක සභාවේ විමර්ශන කාර්යයන්ට අවශ්‍ය සාක්ෂි ලබා ගැනීම පිණිස අදාළ රාජ්‍ය නිලධාරීන් ද ඇතුළුව වෙනත් ඕනෑම පුද්ගලයෙකු කාරක සභාව ඉදිරියට කැඳවීමට හෝ අවශ්‍ය ලිපිලේඛන ගෙන්වා ගැනීමට මෙන්ම අවශ්‍ය ස්ථානවලට පිවිසීම සඳහා ද කාරක සභාවට බලය තිබේ.

කෝප් කමිටුව හෙවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ පළමු සභාපතිවරයා වන්නේ ජෝර්ජ් අබේගුණසේකර මහතාය. ඔහු එම කාරක සභාව මුල් වරට ස්ථාපිත කළ දින සිට 1988 වර්ෂයේ ජනවාරි මස 4 වන දින තෙක් එම ධූරයේ කටයුතු කර තිබේ. ඉන් අනතුරුව එම්. එස්. අමරසිරි, ජේ.ඒ.ඊ. අමරතුංග, විමල් වික්‍රමසිංහ, රොහාන් අබේගුණසේකර, ඩී.පී. වික්‍රමසිංහ, විශ්වා වර්ණපාල, රෙජී රණතුංග, ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ, රෝහිත බෝගොල්ලාගම, විජේදාස රාජපක්ෂ, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, ඩිව් ගුණසේකර ආදී වූ මහත්වරුන් මෙහි සභාපතිවරුන් ලෙස කටයුතු කර ඇති අතර වර්තමානයේ සුනිල් හඳුන්නෙත්ති මහතා කෝප් කමිටුවේ සභාපතිත්වය දරනු ලබයි.

2010 වසරේ සිට ක්‍රියාත්මක වූ කෝප් කමිටුව මඟින් 2010 සහ 2011 වර්ෂ තුළ පරික්ෂාවට ලක් කරන ලද ආයතන සංඛ්‍යාව 229 ක් වූ අතර ඒ පිළිබඳ එම කමිටුවේ පළමු වාර්තාවෙන් කරුණු ඉදිරිපත් කර තිබේ. එසේම දෙවන අදියරේදී ආයතන 32 ක් සම්බන්ධව විමර්ශනයට ලක් කර 2012 දී කරුණු ඉදිරිපත් කර ඇති අතර ඉන් පසු නිකුත් කරන ලද අතුරු වාර්තාව මඟින් 2013 වසරේ මැද  සිට 2014 වසරේ අප්‍රේල් මාසය දක්වා ආයතන 47 ක් පරික්ෂාවට ලක් කර ඇත. විශේෂයෙන්ම මෙහිදී සඳහන් කළ යුතු කරුණ වන්නේ සියලු රාජ්‍ය ආයතන එකවර පරික්ෂා කිරීමේ හැකියාව කෝප් කමිටුවට නොමැති බවයි.



පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සභාපතිත්වය දරණ වර්තමාන කෝප් කමිටුව සභාපතිවරයා ද සහිතව සාමාජිකයින් 26 දෙනෙකුගෙන් සමන්විත වේ. එම සාමාජිකයින් වන්නේ රවුෆ් හකීම්, අනුර ප්‍රියදර්ශන යාපා, දයාසිරි ජයසේකර, ලක්ෂ්මන් සෙනෙවිරත්න, රවීන්ද්‍ර සමරවීර, සුජීව සේනසිංහ, වසන්ත අලුවිහාරේ, ලසන්ත අලගියවන්න, හර්ෂ ද සිල්වා, අජිත් පී. පෙරේරා, රන්ජන් රාමනායක, අශෝක් අබේසිංහ, අනුර කුමාර දිසානායක, චන්ද්‍රසිරි ගජදීර, මහින්දානන්ද අලුත්ගමගේ, බිමල් රත්නායක, වීරකුමාර දිසානායක, මාවෛ සෝ. සේනාධිරාජා, අබ්දුල්ලාහ් මහරූෆ්, එස්. ශ්‍රීතරන්, එම්.ඒ. සුමන්තිරන්, හෙක්ටර් අප්පුහාමි, නලින්ද ජයතිස්ස, හර්ෂණ රාජකරුණා හා ඥානමුත්තු ශ්‍රීනේසන් නැමැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ය.

වත්මන් කෝප් කමිටුව මෙරට සමාජය තුළ වඩාත් කතාබහට ලක්වූයේ මතභේදාත්මක මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවකට අදාළ විමර්ශන කටයුතු මෙම කෝප් කමිටුව මඟින් සිදු කිරීම හේතුවෙනි. මෙම බැඳුම්කර ගනුදෙනුව සිදු වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ 13 වන අධිපතිවරයා ලෙස පත් වූ අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ ධූර කාලය තුළදී ය. එම බැඳුම්කර ගනුදෙනුවල දී ඔහුගේ බෑනාට සම්බන්ධ සමාගමකට වාසි සහගත වන අයුරින් කටයුතු කළ බවට මෙහිදී චෝදනා එල්ල විය. එනිසා එම චෝදනා පිළිබඳව සොයා බලා වාර්තා කිරීම සඳහා අග‍්‍රාමාත්‍යවරයා විසින් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කරන ලදි. එසේම මේ සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ද ගොනු වූ අතර විගණකාධිපතිවරයාගෙන් ඒ පිළිබඳව වාර්තාවක් කැඳවීමට ද කටයුතු කරන ලදි. විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව මඟින් ද මේ සම්බන්ධව විමර්ශනයක් සිදු කිරීමට පියවර ගත් අතර එම බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් කෝප් කමිටුව සිදු කළ විමර්ශනයේ වාර්තාව ඊට අදාළ කාරක සභාවේ නිර්දේශ ද සහිතව ඔක්තෝබර් 28 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි.

කෝප් කමිටුව ඉදිරිපත් කළ මෙම වාර්තාව සමාජයේ බොහෝ පිරිසකගේ අවධානයට ලක්වීමත් සමඟ අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සමාජය තුළ යම් කථිකාවක් නිර්මාණය වී ඇති බව ප්‍රකාශ කළ හැකිය. මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුතු කරුණ වන්නේ එවැනි මතභේදාත්මක මහා පරිමාණ ගනුදෙනු ධනයට සහ බලයට යටපත්ව සදාකාලිකව සැඟවී යාමට ඉඩ නොදී ඒවාට අදාළ නිසි ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය බලපෑම ඇති කිරීම සඳහා කෝප් කමිටුව ලබාදෙන මෙම දායකත්වය අතිශය ප්‍රශංසනීය වන බවයි. එබැවින් ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ක්‍රමයක් තුළ යහපාලනය සලකුණු කිරීම සඳහා යන ගමනේ දී කෝප් කමිටුවේ ක්‍රියාකාරිත්වය අනිවාර්ය අවශ්‍යතාවක් වන බව ද අවසාන වශයෙන් අවධාරණය කළ යුතුය.


MOST VIEWED VIDEO STORIES

MORE >>