Back to Top

බානු අත්අඩංගුවට - ගංගා තාම නෑ

October 7, 2016  

   

කතරගම මහාදේවාලයේ සිටි බානු නැමති වයස අවුරුදු 12 ක පමණ අලි පැටවා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා දී තිබු  නියෝගයක් මත අද (07) දින වනජීවී දෙපාර්තමෙන්තුවේ වැටලීම් ඒකකයේ නිලධාරින් හා රහස් පොලිසිය එක්ව කතරගම දේවාල භූමියේ සිටියදී සිය භාරයට  ගනු ලැබිය.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බලපත්‍ර අංක 200 යටතේ මෙම අලි පැටවා  ලියාපදිංචි කර ඇති අතර අලි පැටවා ඌව පළාතේ  ප්‍රධාන දේශපානඥයෙකු බාරයේ සිටි බවට  කතාබහට ලක්වුවත් අලි පැටවාගේ ලියාපදිංචිය සිදුකර ඇත්තේ මාතර පාලටුව මාලිම්බඩ ප්‍රදේශයේ පදිංචි ඩිල්සාන් වික්‍රමරත්න ගුණසේකර යන පුද්ගලයෙකුගේ නමට වේ .

කතරගම දේවාලයේදී අද (07)දින අත් අඩංගුවට ගත්  බානු නැමති  මෙම අලි පැටවා පින්නවල අලිනාතාගාරයට රැගෙන යන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු පැවසිය.

වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත උල්ලංඝණය කරමින් අලි අතුන් ලියාපදිංචි කිරීම සහ බලපත්‍ර ලබාදීම පිළිබඳව අනාවරණය වු තොරතුරු සහ මව් ඇතින්න මරා පැටවුන් ලබා පසුගිය වසර 10 කට වැඩි කාල සීමාව තුළ අලි ඇතුන් සම්බන්ධයෙන් දේශපාලනඥයින්, ආගමික නායකයින්, විනිසුරුවන්, ව්‍යාපාරිකයින්, පරිපාලන නිලධාරීන් ඇතුළු විශාල පිරිසකට චෝදනා එල්ල විය.

2009 අංක 22 දරණ වන සත්ව හා වෘක්ෂලතා‍‍ ආරක්ෂක (සංශෝධන) පනත මගින් සංශෝධිත වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 22 අ(9) උප වගන්තියට අනුව  "ලියාපදිංචි ඇතින්නකගේ ගැබ් ගැනිමේදී එම ඇතින්නගේ අයිතිකරු හෝ භාරකාරීත්වය දරණ තැනැත්තා විසින් ඇතින්නගේ ගැබ් ගැනීම පිළිබඳව තොරතුරු සමග එම ගැබ් ගැනීම පිළිබඳව අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දිය යුතුය."

තවද (10) වන වගන්තිය අනුව යම් උපතක් එම සිදුවීම සිදුවී දින හතක් ඇතුලත අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ බලයලත් නිලධාරීන්ට දැනුම් දීය යුතුය.

උක්ත නීති අනුව 2009ට පසු ලියාපදිංචි කරන සියලු අලි පැටවුන්ගේ ගැබ් තොරතුරු සහ උපත අධ්‍යක්ෂ ජනරාල් වෙත වාර්තා වී ලේඛන ගත විය යුතුය. එබඳු වාර්තා නොමැති හෙයින් පවතින නීතිය යටතට නොවැටීම සඳහා 2008 ට පෙරාතුව ගෘහාශ්‍රීත ඇතින්නුන්ට ලැබුණු අලි පැටවුන් යැයි සඳහන් කරමින් අලි පැටවුන් ලියාපදිංචි කර තිබුණි.  මෙසේ ලියාපදිංචි කොට ඇත්තේ වනාන්තරයේ දී මව් ඇතින්න මරා රැගෙන ආ පැටවුන් බවයි පරිසරවේදීන් පෙන්වාදෙන්නේ.

මෙම කාරණා හේතුකොට ගෙන වනජීවී දෙපාර්ත මෙන්තුවේ හිලෑ අලිඇතුන් ලියාපදිංචි කිරීමේ ලේකනය කුට ලෙස වෙනස්කල බවට හිටපු වනජීවී අමාත්‍ය වරයෙකු වූ වසන්ත සේනානායක විසින් 2015/02/16 වනදින අපරාධපරික්ෂණ දෙපාර්ත මෙන්ත්වේ සිදුකරන ලද පැමිණිල්ලක් අනුව ඒ සම්බන්ධයෙන් විමර්ශනය කර ලබාගත් තොරතුරු වලට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අදිකරණයේ නඩු අංක  B / 23073/01/15 යතේ සිදුකරන ලද නඩු කරයකට අනුව  වැටලීම් සිදුකරන ලදී .

මේ යට‍තේ සිදුකරන ලද විමර්ශනයේදී සැක සහිත අලි පැටවුන් 55 කට අයත් ලේකන විමර්ශනයට ලක්වූ අතර ඉන් 40ක් බැලු බැල්මට සැකසහිත ලෙස සැකස තිබු අතර ඉන් 06අලි පැටවුන්  නොමැතිව  පසුව අලින් අල්ලා ලියාපදිංචි කිරීම සඳහා සකසා තිබු ඒවා වේ.

මේ අනුව සිදුකරන ලද නඩු විභාගයන්ට අනුව කොළඹ මහා අධිකරණය මගින් ලබාදෙනු ලැබූ නියෝග ප්‍රකාරව අද වනවිට ව්‍යාජ ලේඛන සැකසු යැයි සියලු අලි පැටවුන් අත්අඩංගුවට ගත යුතු වුවත් කොළඹ ප්‍රසිද්ධ විහාරස්ථානයක ඉතා කුඩා භූමි ප්‍රමාණයක ඉතා  කෲර ලෙස රඳවා ගෙන  සිටින   බලපත්‍ර අංක 198 දරන ගංගා නැමති ඇත්  පැටවා  ද මෙම මස 13 වනදාට පෙර අත්අඩංගුවට ගැනීමට අධිකරණය නියෝග කර තිබුණත් ඇත් පැටවාගේ හිමිකරුවන් විසින් නීතිඥයෙකු මගින්   පසුගිය 06 වනදා අධිකරණයට මෝසමක් ඉදිරිපත් කරමින් ඉදිරි නඩු දිනයේදී ඇත් පැටවා සම්බන්ධයෙන් අවශ්‍ය ලේඛන ඉදිරිපත් කරීමට කටයුතු කරන බව දන්වා ඇත.

නමුත් ‘’ගංගා ‘’නැමති ඇත්පැටවා  මෙතෙක් අත්අඩංගුවට ගැනීමට  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ වනජීවී දෙපාර්තමේන්තුවේ වැටලීම් අංශය කටයුතු නොකිරීම අධිකරණ ක්ෂේත්‍රයට සම්බන්ධ අමාත්‍යවරයෙකුගේ බලපෑම් මත සිදුවන බවයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ

බලපත්‍ර අංක 198 යටතේ ලියාපදිංචි ´´ගංගා´´ නමැති මෙම ඇත් පැටවා අකුරැස්ස ඌරු බොක්ක රජ්ජුරු බණ්ඩාර දේවාලයේ ඒ.ඩී.ඩී .අමරදේව නැමති අයෙකුගේ නමට ලියාපදිංචි කර තිබේ. මෙම ඇත් පැටවා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් ජාත්‍යන්තර හා ජාතික වසයෙන් පෙත්සම් දස දහසකට අධික ප්‍රමාණයක් ඉදිරි පත්වී ඇති බවද පරිසර සංවිධාන පෙන්වාදෙයි.



රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට

MOST VIEWED VIDEO STORIES

MORE >>