Back to Top

සුදු බීඩි කර්මාන්තයට මොකද වුණේ?

April 10, 2017  


ඕනෑම නිෂ්පාදනයක් කාලානුරූපව හැඩගැසීමත්, වෙළෙඳපොළ අභියෝගතා හඳුනාගනිමින් ඒවාට නිසි ලෙස මුහුණදෙමින් ඉදිරියට පැමිණීමත් කළ යුතුය. බීඩි නිෂ්පාදනය, සුදු බීඩි නිෂ්පාදනයක් බවට හැඩවෙමින්, තවත් විශාල ප්‍රමාණයකට ජීවනෝපාය බවට පත්වෙමින් සංවර්ධනය වන අවධියේ කර්මාන්තය තුළින්මත්, එයින් පරිබාහිරව දේශපාලන අධිකාරියේත් බලපෑමට නතුවෙන්නට විය. සුදු බීඩි නිෂ්පාදකයින් පෙන්වාදෙන පරිදි කර්මාන්තය තුළ මෙම බලපෑම එල්ල වන්නේ සිගරට් කොම්පැණියෙන් හා සම්ප්‍රදායික බීඩි කොළයෙන් බීඩි නිෂ්පාදනය කරන බීඩි කර්මාන්තකරුවන්ගෙනි. සුදු බීඩි නිපදවන්නන්ගේ සමූපකාර සමිතියේ හිටපු උප සභාපති පියල් කීර්ති රණසිංහ ඒ පිළිබඳ පවසන්නේ මෙවැන්නකි.



“සිගරට් කොම්පැණියෙන් දුම්කොළ දීලා අපි හරහා ඒ අයගේ දුම්කොළවල ජනප්‍රියත්වය වැඩිවුණා. ඒකෙන්
සිගරට් කොම්පැණිය තමන්ට පාඩුවෙද්දි අපට දුම්කොළ දෙන එක නැවැත්තුවා. ඊට පස්සෙ සුරාබදු එකෙන් දිගට හරහට වැටලීම් කරන්න ගත්තා.“



 (පියල් කීර්ති රණසිංහ)


සුදු බීඩි නිෂ්පාදකයින් ආදායම් බදු ගෙවීම් නිසි ලෙස සිදුකර ඇති නමුත් දුම් කොළ සඳහා අය විය යුතු වෙනම බදු ගෙවීමක් සිදුකර නොමැත. ඔවුන්ගේ තර්කය වී ඇත්තේ දුම්කොළ සඳහා සිගරට් කොම්පැණියෙන් හෙවත් දුම්කොළ සංස්ථාවෙන් බදුගෙවන බැවින් යළිත් තවත් වරක් බදු ගෙවීමක් සිදුවිය යුතු නැති බවයි. සුදු බීඩි කර්මාන්තය තුළින් දුම්කොළ නිෂ්පාදනවලට පවත්නා ඉල්ලුම ඉහළයාමෙන් තම දුම්කොළ සඳහා වෙළඳපොළ පුළුල්වීමත්, එමගින් ලාභය ඉහළයාමත් සිගරට් කොම්පැණියට කෙටිකාලීනව වාසිදායක වූ බව සැබෑය. එහෙත් කාලයාගෙ ඇවෑමෙන් එමගින් සිගරට් වෙළඳපළට අභියෝගයක් වෙමින් සුදු බීඩිය පහල පාන්තික ජනයා අතර වඩාත් ජනප්‍රියවීමෙන් දිගු කාලීනව  අවාසියක් වන බව ඒත්තුයාමත් සමග සිගරට් කොම්පැණිය විසින් තම දුම්කොළ, සුදු බීඩි නිෂ්පාදකයින්ට ලබාදීම අත්හිටුවන ලදී. එවිට ‘දුම්කොළ සමාගමෙන් මේ දුම්කොළ සඳහා බදු ගෙවා තිබේ‘ යන තර්කය තව දුරටත් වලංගු නොවීය. ඉක්බිතිව සුරාබදු දෙපාර්තමේන්තුව විසින් දිගින් දිගටම සුදු බීඩි නිෂ්පාදන වැටලීමෙන් නිෂ්පාදකයින්ටත්, ඔවුන්ගෙන් යැපෙන දහස් සංඛ්‍යාත බීඩි ඔතන ස්වයං රැකියාලාභීන්ටත් එල්ලවූයේ මරු පහරකි. පසුබසින්නට සූදානම් නොවුණු සුදුබීඩි නිෂ්පාදකයින් නීතියේ පිළිසරණ සොයාගෙන ගියේ එයින් අනතුරුවය. මේ පියල් රණසිංහගේ හඬය.


“ අපි ‘සමස්ත ලංකා සූදුබීඩි නිෂ්පාදකයින්ගේ සමූපකාර සමිතිය‘ විදිහට මහීපාල ඇමතිතුමාගේ මාර්ගයෙන් මොහාන් පීරිස් මහත්තයා හම්බවුණා. අපේ නඩුව බාරගන්න එයා කැමති වුණා. අපි නඩුවක් දැම්මා. ඒ 2004දි. අපි ඒ නඩුවෙන් දිනුවා. නඩු තීන්දුව ලැබුණේ  2006 ඔක්තෝම්බර් 13 දායි. එයින් සුරාබදු දෙපාර්තමේන්තුවට නියෝගයක් කරතිබුණේ අපිව සුරාබදු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරන්න කියලයි.“

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින් ගැටළුවට විසඳුමක් ලැබුණේ යයි මොහොතකට කල්පනා කළ හැකි වුවද, සැබවින්ම එවැන්නක් සිදුව තිබුණේ නැත. ඔවුන්ගේ නොදැනුවත්කම හෝ දේශපාලන බලාධිකාරිය හමුවේ ඔවුනට මුහුණදීමට පවත්නා හැකියාව අවමවීමේ හෝ හේතුව මත සිදුව තිබුණේ පැලැස්තර විසඳුමක් පමණි.

“ඉතිං ඔය ගොල්ලවත්, සුරාබදු දෙපාර්තමේන්තුවවත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මත පදනම්වෙලා ව්‍යාපාරය ලියාපදිංචි කරන්න කටයුතු නොකරේ ඇයි? ප්‍රශ්නය අපෙන්.

“ ඒක අපේ නොදැනුවත්කම වෙන්න ඇති. නඩුව දිනපු දවසේ සියඹලාපිටිය ඇමතිගේ ලේකම්ගෙන් කෝල් එකක් ආවා. ඇමතිතුමා අපට දිවා භෝජන සංග්‍රහක් තියන්න තීරණය කරලා තියෙන බව ලේකම්තුමා කීවා. අපි ඒකට ගියා. කොළඹ නිපෝන් එකේ තමයි ඒක තිබුණේ. අපට හොඳට කන්න බොන්න දීලා ඇමතිතුමා කීවේ‘ ඔයාලා ආයෙ උසාවි යන්න එපා. සුරාබදු එකට යන්නත් එපා. නීත්‍යනුකූල අවසරය ගන්නත් එපා“ කියලයි.  එහෙම ගත්තොත් ඉන්දියාවෙන් කොම්පැණි දෙක තුනක් ඇවිත් මේ වැඩේ කරන්න අවසර ඉල්ලලා තියෙනවා. ඔයාලට දුන්නොත් එයාලටත් දෙන්න වෙනවා. ඒ නිසා පාඩුවේ වැඩ ටික කරගෙන යන්න. අපි ඔයාලට කරදර කරන්න ඉඩදෙන්නෙ නෑ කියලා. අපි ඉතිං වැඩ කරගෙන ගියා.“


                    එහෙත් මෙහිදී අමතක නොකළ යුතු තවත් කාරණයක් සිදුවේ. එනම් සුදු බීඩි නිපදනවන්නන්ට වාසිදායක ලෙස නඩු තීන්දුව ප්‍රකාශයට පත්වීමට මසකට පෙරාතුව එනම්   2006 සැප්තැම්බර් 09 වන දිනයෙන් යුතුව සුරාබදු කොමසාරිස්වරයා විසින් එවන ලද ලිපියක් ඔවුන් වෙත ලැබේ. එකී ලිපියේ දැක්වෙන වැදගත්ම කොටස පහත පරිදිය.

“2004 අංක 09 දරණ දුම්කොළ බදු (සංශෝධන) පනත මගින් ‘සිගරට් ආදේශක‘ යන්න ඉවත්කර ඇති බවද, වැඩිදුරටත් දන්වා සිටිමි. 1999 අංක 08 දරණ දුම්කොළ බදු පනතින් ‘සිගරට් ආදේශක‘ යන්න විස්තර කර ඇති පරිදි ඔබ විසින් නිෂ්පාදනය කරනු ලබන සුදු බීඩි ‘සිගරට් ආදේශක‘ ගණයට අයත්වන බවද කාර්ණිකව පෙන්වාදෙමි“

මේ අයුරින් එහි ‘සිගරට් ආදේශක‘ යන්නට තිබූ පිළිගැනීම ඉවත්කරලීම තුළින් ‘සුදු බීඩිය‘ නැවත වරක් නීති විරෝධී භාණ්ඩයක් බවට අර්ථගැන්වීම සිදුවී තිබේ. මෙහිදී සුදු බීඩි නිෂ්පාදකයින් විසින් බීඩියක හා සුදු බීඩියක සාම්පල් දෙකක්ද සහිතව සුරාබදු කොමසාරිස්වරයාට පිළිතුරු ලිපියක් යොමුකරනු ලබයි. සුදු බීඩි නිපදවන්නන්ගේ සමූපකාර සමිතියේ සභාපතිවරයාගේ අත්සනින් යුතුව යොමුකරනු ලැබූ ලිපියේ මෙසේ දැක්වෙයි.

“සිගරට් ආදේශක‘ යන්නට සිදුබීඩි ඇතුළත් වන බව කොමසාරිස්වරයාගේ මතය වී තිබීම කරුණු වරදවා වටහා ගැනීමක් බව අපගේ හැඟීමය. මන්ද ‘සුදු බීඩි‘ යන්න ‘බීඩි‘ ගණයට වැටෙනවා විනා එය කිසිසේත්ම ‘සිගරට් ආදේශකයක්‘ නොවේ. බීඩි සෑදදීමටම යොදාගන්නා දුම්කොළ වර්ගයම සුදු බීඩි සඳහාද යොදාගන්නා බව ඔබතුමාගේ අවධානයට යොමුකරමු. එකම වෙනස වන්නේ බීඩි ඔතා ඇත්තේ ස්වභාවික කොළ වර්ගයකින් වීමත්, සුදුබීඩි ඔතා ඇත්තේ සුදු වර්ණයකින් යුතු කොළයකින් වීමත් පමණි. එමෙන්ම සුදු පැහැති කොළයේ නිෂ්පාදන නාමය සමග ‘බීඩි‘ යන්න පැහැදිලිවම සිංහලෙන් ලියා ඇති බව ඔබතුමාගේ අවධානයට යොමුකරමු“

මේ අයුරින් කරුණු දැක්වුවද සුරාබදු දෙපාර්තමේන්තුවෙන් කිසිදු සහනයක් සුදු බීඩි නිපදවන්නන්ට හිමි නොවේ. ඔවුන් යළි වරක් නීතියේ පිළිසරණ පතන්නේ ඒ නිසාමය. පියල් කීර්ති රණසිංහ මහතා ඒ පිළිබඳ තම මතකය ආවර්ජනය කරනු ලැබුවේ මේ අයුරිනි.

“ආපහු ගිහින් ෆයිසර් මුස්තාපා ඇල්ලුවා. මොහාන් පීරිස්  ඒ වෙද්දි අගවිනිසුරු. අපි මෝසමක් ගොනු කරලා අතුරු තහනම් නියෝගයක් ගත්තා. අරන් වැඩ ටික ආයෙම කරගෙන ගියා. ස්කන්ධ රාජා විනිසුරු ආවම අතුරු තහනම අයින් කළා. ඒ 2010 සැප්තැම්බර් වගේ. ඊට පස්සෙ ආයෙම අල්ලන්න ගත්තා. ඒස්.ටී. එෆ් දාලා අපට හිරිහැර කළා. මෙහෙත් ඇවිත් වහලවල් උඩට පවා නැඟලා සෝදි කෙරුවා. අපව බය කෙරුවා. අපි බයේ ගැහුණා. ලක්ෂ ගාණක බඩු අපි පිච්චුවා. එතැනින් නැත්තටම නැතිවුණා“



                                                                                        1982 තරම් ඈත යුගයේ බීඩි කර්මාන්තයට අතගසා දහස් සංඛ්‍යාත පිරිසකගේ ජීවනෝපාය මාර්ගයවී කාලයත්, තාක්ෂණික උපාය උපක්‍රමත් ජයගනිමින් වර්ධනය වෙමින් ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ පැවැත්ම සහතික කරනු ලැබූ ‘සුදු බීඩි නිෂ්පාදනය‘නම් තවත් ජීවන වෘත්තියක් මිනී පෙට්ටියක බහා අන්තිම ඇණයත් ගසනු ලැබූ අවස්ථාව එයයි. මෙය වඩාත් ඛේදනීය වනුයේ මෙමගින් එදාවේල සරිකරගනු ලැබුවේ ග්‍රාමීය, අධ්‍යාපන මට්ටම ඉතා අවමවූ, සමාජ ඉඩ ප්‍රස්ථාවන් අහිමි දිළිදු ප්‍රජාවක් වීමය. මේවන විට ඔවුන්ගෙන් පිරිසක් තම නිෂ්පාදනයෙන් කාර්යක්ෂමතාවෙන් අඩු සම්ප්‍රදායික බීඩි එතීමට යොමුවී සිටින අතර තවත් පිරිසක් මෙම වෘත්තීයට තිත තබා කුලී වැඩ කිරීම දක්වා තවත් පියවරක් පසුපසට ගෙන ජීවන පැවැත්මේද පියවර ගණනාවක් පසුපසටවී සිටිති.

“මොනව කරන්නද මහත්තයෝ මේක අපේ දෛවය වෙන්න ඇති. දැන් ඉතිං වේලක් කාලා වේලක් නොකා පුංචි එවුන්ට උගන්නනවා. උන් හරි ඉගෙනගෙන ජීවත්වෙන්න පුළුවන් රස්සාවක් හොයා ගනියි“ ඒ හැට අට වන වියේ පසුවන කුසුමාවතී නම් සිව්දරු මවකගේ හඬයි.

                   එසේ වුවද, කරුණු කාරණා සිද්ධවෙන්නේ මෙතරම් සරලව නොවේ. සුදුබීඩි නිපදවන්නන්ට වාසිදායක අන්දමින් මෙම කර්මාන්තයට නීත්‍යනුකූලභාවය ලබාදෙන ලෙස නියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබෙන්නේ 2006 ඔක්තෝම්බර් මාසයේදීය. දුම්කොළ බදු පනත සංශෝධනය වනුයේත්, එයින් ‘සිගරට් ආදේශක‘ යන්න ඉවත් කරනුයේත් 2004 ඔක්තෝම්බර් 08 දාය.
සුරාබදු කොමසාරිස්වරයා විසින් මේ බව සුදු බීඩි නිෂ්පාදකයින්ට දැනුම්දෙනු ලබන්නේ 2006 සැප්තැම්බර් 09 දාය. එනම් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබීමට මසකට පෙරය. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාරව සුරාබදු දෙපාර්තමේන්තුව විසින් කටයුතු නොකළේ මන්ද? අතීතයට බලපැවැත්වෙන පරිදි නීති පැනවීමට හෝ ක්‍රියාත්මක කිරීමට හැකියාවක් ඇත්ද?



-
තවත් කොටසක් ලබන සතියේ..



MOST VIEWED VIDEO STORIES

MORE >>