Back to Top

මාදුරුඔය ජාතික වනෝද්‍යානය අවට අක්කර 4200ක කැලෑ කපයි

November 8, 2016  



මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ පේරණ කලාපයේ තොප්පිගලට යාබද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ තිබෙන රක්ෂිත වනාන්තර ප්‍රදේශයේ අක්කර 4200ක පමණ භූමි ප්‍රමාණයක් මේ වන විට නීතිවිරෝධීව එළිපෙහෙළි කරමින් තිබේ. සංවර්ධන ව්‍යාපෘතියක මුවාවෙන් එම ඉඩම් චීනයට පැවරීමේ සුදානමක් ඇති බවයි අනාවරණ වන්නේ. එළිපෙහෙළි කරමින් පවතින භූමියේ ස්ථිර නිවාස 08ක් සහ තාවකාලික නිවාස 500කට අධික ප්‍රමාණයක් ඉදිකර තිබේ.

මහවනාවෙල ආරියවංශ හිමි ලෙස හැඳින්වෙන භික්ෂුවක් විසින් මෙම ඉඩම් මංකොල්ලය සිදුකරමින් යන අතර මීට මාස 08කට පමණ පෙර සාදන ලද වෙහෙරගොඩැල්ල රජමහා විහාරය නැමති ස්ථානයක සිට මෙහෙයුම් කටයුතු සිදුකරමින් සිටියි. මෙම භික්ෂුවගේ සහයට රන්ජිත් රාජපක්ෂ (ලියනගේ) නැමැත්තෙක් ද සිටියි.

සංවර්ධන ව්‍යාපෘතියක මූලික අදියර ලෙස නිවාස නොමැති පුද්ගලයන් එම භූමියෙහි පදිංචි කරන බව පවසමින් මෙම ඉඩම් මංකොල්ලයට අවශ්‍ය ඉඩකඩ සකසාගෙන ඇත. එය සිදුවන්නේද අමුතුම ආකාරයකටය. පෙර සඳහන් කළ භික්ෂුවට රු .500ක මුදලක් හා රන්ජිත් රාජපක්ෂ නමැත්තාට රු.2000ක මුදලක් ලබාදීමෙන් අනතුරුව ඔවුන් රක්ෂිත භූමියෙහි පෙන්වා දෙන ස්ථානයකින් ඉඩම ලබාදීම සිදුකරයි. එම භුමියෙහි වගා ආරම්භ කිරීමට කැමති අයෙක් වේ නම් ඒ සඳහාද අවස්ථාව තිබේ. ට්‍රැක්ටර් ගොයම් කපන යන්ත්‍ර ආදිය රක්ෂිතය තුළට ගෙනයාම සඳහා රන්ජිත් රාජපක්ෂට රු.2500ක මුදලක් ගෙවිය යුතුව තිබුණි. මෙලෙස කැලෑ ඉඩම් තමන්ගේ බූදලයක් ලෙස මිනිසුන්ට විකුණන සාදු මුදලාලි හා රංජිත් නැමැත්තා තව වන තෙක් කිසිදු අයුරක බාධාවකින් තොරව වනාන්තර ප්‍රදේශ විනාශකරමින් සිටියි.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් මෙම වනාන්තරය එළිපෙහෙළි කිරීම සඳහා හෝ කුමන ඉදිකිරීමක් සඳහා හෝ කිසිවෙකුටත් අවසරයක් ලැබී නැත. අවම වශයෙන් මහවැලි අධිකාරියට හෝ පවරා ගෙන නැත. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනුර සතුරුසිංහ පවසන පරිදි මාදුරුඔය රක්ෂිතය අවට සිදුවන්නේ පැහැදිලි ලෙසම නීතිවිරෝධී ක්‍රියාවකි. නමුත් එම නිතිවිරෝධී ඉඩම් මංකොල්ලය ඉදිරියට කරගෙන යන තුරු වනසංරක්ෂණ දෙපාර්තමෙන්තුව සිය මුනිවත රකිමින් සිටිනවා පමණක් නොව එයට අත්උදව් දෙමින්ද සිටියි.

මෙම ප්‍රදේශය පුරාවිද්‍යාත්මකව ඉතා වටිනා ප්‍රදේශයක් වන අතර අදිවාසී වැදි ජනතාවගේ වාසභූමියක් වන හෙන්නානිගල ජනාතාවට පවා මෙම ඉඩම් භාවිතා කිරීමට ඉඩ නොදුන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කැලෑ කැපීමට අවශ්‍ය ඉඩකඩ මෙම වන සංහාරකයින්ට ලබාදී ඇත.

අප  මේ සම්බන්ධව කළ විමසීමකදී මහවැලි කටයුතු පිළිබඳ ජනාධිපති ලේකම් මහින්ද රත්නායක පවසා සිටියේ රක්ෂිත භුමිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මහවැලි අධිකාරියට පවරාගෙන නොමැති බවයි. එහෙත් නුදුරේදීම ”අවශ්‍ය කටයුතු” සිදුවන බව හෙතෙම කියා සිටියි. මෙලෙස කඩිමුඩියේ ජනාධිපති ලේකම්වරයාගේ මැදිහත් වීමෙන් වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් පවරා ගන්නේ මෙහි කොටසක් චීන රජයට පවරාදීමට ද යන්න සැක සහිත කාරණයකි.

නමුත් වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති මෙම වනාන්තර ජනාධිපති ලේකම්වරුන්ට හෝ සාදු මුදලාලිලාට අවශ්‍ය පරිදි විනාශ කිරිමට නොහැකිය. 1907 අංක 16 දරණ වන සංරක්ෂණ ආඥාපනතේ 2009 අංක 56 දරණ සංශෝධිත පනතේ 6 වන වගන්තියේ 2 (ආ) උප වගන්තියට අනුව ගසක් කැපීම, කපා ඉවත් කිරීම පවා තහනම්ව තිබියදී වන සංරක්ෂණ ආඥා පනත අමු අමුවේ කඩ කළ ද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටියි.

එපමණක් නොව 1988 අංක 56 දරණ සංශෝධිත ජාතික පාරිසරික පනත ඇතුළු අණපනත් නීති පද්ධති ගණනාවක් කඩ කරමින් ඉහත පෙන්වාදුන් පරිදි සාදු මුදලාලිලාට රිසි ලෙස රටේ වනසම්පත විනාශකිරීමට රටේ පාලකයින් ඉඩදී තිබේ.

මාදුරුඔය රක්ෂිතය අවට සිදුවන මෙම එළිපෙහෙළි කිරීම් හේතුවෙන් මහවැලි ඊ කලාපයේ ගම්මාන රැසකට වන අලි තර්ජනයට මුහුණ දීමට සිදුවී තිබේ. නිදන්විල, දම්මින්න, පුබුදුගම, කන්දේගම, පිම්බුරුත්තැව, යන ගම්මාන පවතින්නේ අලි කටේය. අලි මංකඩ ලෙස පවතින ප්‍රදේශ නිරාවරණය වන විට වන සතුන් ගම වදිනවා හැර වෙනත් විකල්පයක් උන්ට නැත. රක්ෂිතයේ වන සතුන් දිය බීමට ඔයට පැමිණෙන්නේද එළිපෙහෙළි වන ප්‍රදේශයෙන්ය. එම නිසා මාදුරු ඔය රක්ෂිත ප්‍රදේශයේ සිදුවන මෙම දැවැන්ත පාරිසරික සංහාරය ප්‍රදේශයේ අලි ඇතුන්ගේ වාස භූමි අහිමි කරනවා පමණක් නොව මාදුරු ඔය රක්ෂිතයේ හා පේරණ කලාපයේ ජෛව විවිධත්වයට ද බරපතල තර්ජනයක් එල්ල කර තිබේ.

පෙරදී හෙක්ටයාර 20,000 පමණ වනාන්තර කපා එළිපෙහෙළි කර මහවැලි ඊ කලාපයට අවශ්‍ය ඉඩම් ලබාගන්නා ලදී. ඉන් අනතුරුව හෙක්ටයාර 58,888 ප්‍රමාණයක් අත්‍යවශ්‍යයෙන් සංරක්ෂණය කළයුතු ප්‍රදේශයක් ලෙස සලකා මාදුරුඔය ජාතික වනෝද්‍යානය ස්ථාපිත කරන ලදි. එලෙස ස්ථාපිත කරන ලද්දේ අලි ඇතුන් ඇතුළු සත්ව ප්‍රජාව හා වනාන්තර ආරක්ෂා කර වනෝද්‍යානය අවට ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමේ අරමුණින්ය.

නමුත් මෙම සියල්ල අනතුරට ලක් කරමින් මාදුරු ඔය රක්ෂිතයට කරන්නා වූ මෙම දැවැන්ත සංහාරය හමුවේ වගකිවයුතු බලධාරීන් නිහඬව සිටින අතර පරිසර ඇමතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙම සංහාරය නැවතීම වෙනුවෙන් ඉතා ඉක්මනින් පියවර ගත යුතුව ඇත.

රවීන්ද්‍ර කාරියවසම්




MOST VIEWED VIDEO STORIES

MORE >>