Back to Top

සුදු බීඩියේ අවසන් ගමන-(111-කොටස)

April 28, 2017  


සුදු බීඩි කර්මාන්තකරුවන්ට වාසිදායක ලෙස ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු ප්‍රකාරව සුරාබදු දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක නොවීම හා ඔවුන්ට එමගින් සහනයක් අත්නොවීම පිළිබඳ අප නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතාගෙන් යළි විමසා සිටියෙමු.


(කපිල කුමාරසිංහ)

“මේ නඩු තීන්දුව වගේම ඒ කාලෙ මේ හා සමගාමීව තවත් සමහර තීන්දු ආවා මතකයි. ඒත් ඒ කිසිවකින් පවත්නා නීතිය අභියෝගයට ලක් කර නෑ. මේ නඩු තීන්දුවෙනුත් එහෙම වෙලා නෑ. අභියෝගයට ලක්වී ඇත්තේ අදාළ සිද්ධිය පමණයි. වෙනත් විදිහකට කියනවානම් මේක කිසියම් උද්ගතවූ නිශ්චිත කරුණු සමූහයක් මත දෙන ලද නඩු තීන්දුවක්. මෙහිදී රජයේ පාර්ශවයෙන් කියන කරුණු, පදනම් වූ ප්‍රස්තූත, අධිකරණයට සැබවින්ම කරුණු ඉදිරිපත් වූවාද යන්න හෝ අපි දන්නෙ නෑ. ඒ මොහොතේ ඉදිරිපත්වූ කරුණු කාරණා සැලකිල්ලට ගෙන ඒ අයට සාධාරණයක් කරන්න කියනවා මිසක් සම්පූර්ණයෙන් කර්මාන්තය ආවරණය වන විදිහට තීන්දුව දීලා නෑ. මේක හුදෙක්  මෙකී සිද්ධියට තත්වාරෝපිත එකක්. සම්පූර්ණයෙන් පනතට, නීතියට හෝ ව්‍යවස්ථාපිත ක්‍රියාදාමයට එරෙහිව කරුණු දැක්වීමක් නෑ. දුම්කොළ නඩු විධිවිධාන   පනතේ විධිවිධානයන්ට අනනුකූලවන ආකාරයෙන් ක්‍රිියාත්මකවීමට අපට එහෙමත් නැත්නම් නීතිය ක්‍රියාත්මක කිරීමේ නිලධාරීන්ට නියොගයක් කර නෑ.“

                                                මෙම තත්ත්වය එතරම් සරල නොවේ. නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් (නීති හා ප්‍රතිපත්ති) එස්.ඩී.එල් මැල්ලව    මහතාද ඒ පිළිබඳ පැහැදිලි කිරීම් කරන්නට යෙදුණේ මේ අයුරිනි.

“ මේ නඩුව ආරම්භ කරනවිට හුදකලා සංසිද්ධියක් ලෙස වුවත් මේ නඩුව ජයග්‍රහණය කරා ගෙනයාමේ නීතිමය වටපිටාව තිබෙන්නට ඇති. සාමාන්‍යයෙන් නඩුව ආරම්භ කරන්නේ ඒවන විට පවත්නා නීතිමය විධිවිධාන හා ක්‍රමවේදයන් මත පදනම් වෙලා. ඒත් මේ නඩුව අවසාන කරන්නට මත්තෙන් 2004 අංක 09 දරණ දුම්කොළ බදු (සංශෝධන) පනත සංශෝධනය වෙලා  ‘සිගරට් ආදේශක‘ යන්න ඉවත්කරනවා.  1999 අංක 08 දරණ දුම්කොළ බදු පනතින් ‘සිගරට් ආදේශක‘ යන්න විස්තර කර ඇති පරිදි “ සුදු බීඩි “වැටෙන්නේ ‘සිගරට් ආදේශක‘ ගණයටයි. ඒ නිසා නඩුව අවසන්වන විට නීතිමය වටපිටාව සකස්වී තිබෙන්නේ ‘සුදු බීඩි‘ නීත්‍යනුකූල කර්මාන්තයක් කියන තැනට නෙවෙයි. ඒකෙ කිසිම තැනක සමස්ත සුදු බීඩි කර්මාන්තයට බලපවත්වන පරිදි මේ මේ පනත් සංශෝධනය විය යුතුයි හෝ කියලා කියන්නෙ නෑ. ඒ නිසා ඇත්තටම ඒක ප්‍රකාශයට පත්වන මොහොතවන විට ඒකෙ වලංගුභාවයක් නැති තරම්“  ඔහු සඳහන් කළේය.

                 කවුරුන් කෙසේ කීවද, දුම්කොළ නිෂ්පාදන කර්මාන්තය සමග රජයේ බදු ප්‍රතිපත්තිය සෘජුව බැඳී තිබේ. මේ නිසාම රජයට බදු ආදායම වාසිදායක ලෙස නොලැබෙන කර්මාන්තයක් ප්‍රවර්ධනය කිරීමට රජය හෝ එහි වගකිව යුතු ආයතන (සුරාබදු දෙපාර්තමේන්තුව) කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කළ නොහැකිය. ගෘහ ආශ්‍රිත සුළු කර්මාන්තයක් ලෙස හෝ ස්වයං රැකියා අවස්ථාවක් ලෙස පැවති සුදු බීඩි නිෂ්පාදනය මහා පරිමාණයෙන් සිදුකෙරුණු කෑගල්ල දිස්ත්‍රීක්කයේ නෙළුම්දෙණිය, මාහේන, උඩුකුඹුර, අඹේපුස්ස, දංඕවිට, නැව්ගල, ඇත්නාවල, දුම්මලදෙණිය, ඉහළගම, පහළගම, බෙලිගල, යට්ටෝගොඩ, වරකාපොළ, ගණිතපුර, මායින්නොළුව, කොහොඹදෙණිය, රඹුක්කන, ආදී ප්‍රදේශවලින් එය තුරන්වී ගියද රටේ සෑම ප්‍රදේශයකින්ම එය ඒ ආකාරයෙන්ම තුරන්වී ගොස් ඇතැයි  කිව නොහැකිය.  එක් පසෙකින් අධ්‍යාපන වශයෙන් ඉහළ සුදුසුකම් නොසැපිරුව, සමාජ ඉඩ ප්‍රස්ථාවන් අහිමි දහස් ගණනකගේ ජීවනෝපාය එය වන විට අනෙක් පසින් එය නීතියේ වලංගුභාවයෙන් තුරන්ව ගොසිනි. ඒ නිසාම ඇතැම් ප්‍ර දේශවලින් තවදුරටත් කලාතුරකින් වුව සුදු බීඩි හමුවන අතර සුරාබදු දෙපාර්තමේන්තුව විසින්ද නිරන්තරයෙන් වැටලීම් සිදුකරනු ලබයි.

“ගිය අවුරුද්දෙ කළ වැටලීම් වලින් සුදු බීඩි 424,314 ක් ද , දුම්කොළ කුඩු කිලෝ ග්‍රෑම් 16,286ක්ද අත්අඩංගුවට ගන්නට හැකිවුණා. මේ අවුරුද්දේ ජනවාරි හා පෙබරවාරි මාසවල විතරක් නීති විරෝධී සිගරට් 4353ක් හා නීති විරෝධී බීඩි 46,049ක් සොයාගන්න පුළුවන් වුණා. ඒ වාගේම මේ අවුරුද්දෙ මුල් මාස දෙකේ නීති විරෝධී දුම්කොළ කුඩු කිලෝ ග්‍රෑම් 55,362ක් අත්අඩංගුවට ගැනීමට අපට හැකිවුණා“ එහෙම කියා සිටියේ නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් (අපරාධ), එම්.බී වන්සූරිය මහතාය.

                  එක් පසෙක දෛනික ජීවිතය ගැටගසා ගැනීමට වෙර දරන දුගී දුප්පත් ජන කොට්ඨාසයකි. අනෙක් පස රටේ බදු ආදායම හා බැඳුණු නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් කොට්ඨාසයකි. මේ දෙකෝට්ඨාසයම මනුෂ්‍යයෝය. එහෙත් දෙපාර්ශවය අතර පවත්නා දුරස්ථභාවය යනු රටේ සංවර්ධන අභිලාෂයන් අත්පත් කරගැනීමෙහිලා ජාතික ප්‍රතිපත්තියක් නොමැතිකමේත්, මනුෂ්‍යයන් හා සංවර්ධනය යනු ඉලකම් හෝ දර්ශක විශේෂයක් පමණක් යයි සිතීමේත් චින්තනමය දුගී බවේත් සංකේතය මිස අන් කුමක්ද?



-ප්‍රියාන් ආර් විජේබණ්ඩාර




MOST VIEWED VIDEO STORIES

MORE >>