රුපියල් මිලියන 2,500ක ආදායම් උත්පාදන ව්‍යාපෘති දිවයින පුරා ඇරඹේ 

රුපියල් මිලියන 2,500ක ආදායම් උත්පාදන ව්‍යාපෘති දිවයින පුරා ඇරඹේ 

August 14, 2026   06:53 pm

මේ වසරේදී දිවයින පුරා පළාත් පාලන ආයතන මට්ටමින් ආදායම් උත්පාදන ව්‍යාපෘති 100කට අධික ප්‍රමාණයක් ක්‍රියාත්මක කරන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

ඊට අදාළ සමාරම්භ අවස්ථා අද (14) දිවයින පුරා සිදු කෙරුණු බව එම අමාත්‍යාංශය නිවේදනය කළේය. 

ඒ අනුව පුත්තලම් දිස්ත්‍රික් සමාරම්භක අවස්ථාව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 

හම්බන්තොට වැඩසටහන ආරම්භ කරනු ලැබුවේ ළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතාය. 

කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගලදී සමාරම්භක අවස්ථාව පවත්වා ඇත. 

මෙම ව්‍යාපෘතිය හරහා වෙළඳ සංකීර්ණ, කායවර්ධන මධ්‍යස්ථාන, ගොඩනැගිලි ද්‍රව්‍ය තත්ත්ව පර්යේෂණාගාර, කොන්ක්‍රීට් වැඩපළ, පානීය ජල ව්‍යාපෘති, කෘෂිකාර්මික සංවර්ධන ව්‍යාපෘති, වී වේලන මධ්‍යස්ථාන, සංචාරක පහසුකම් සංවර්ධනය, ගෘහස්ත ක්‍රීඩාංගණ, සූර්ය බලශක්ති පද්ධති, පෙර පාසල් හා ළමා උද්‍යාන, දේශීය ආහාර නිෂ්පාදන හා සැකසුම් මධ්‍යස්ථාන, අවන්හල් හා භෝජනාගාර, අවමංගල්‍ය ශාලා හා ආදාහනාගාර, සංචාරක බංගලා හා නිවාඩු නිකේතන, ශ්‍රවනාගාර, රථ ගාල්,  විදුලි වාහන නැවත ආරෝපණය කරන හා වාහන සෙවාකරණ මධ්‍යස්ථාන යනාදී ක්‍රියාත්මක කිරීමට නියමිතය. 

මේ අතර ගම හා සම්බන්ධ මහජන නියෝජිතයින් සහිත කුඩාම පාලන ඒකකය වන පළාත් පාලන ආයතන මූල්‍ය විනයක් රහිත පාලනයන් යටතේ කාලයක් මුළුල්ලේ සිදු වූ නාස්තිය, අවභාවිතාව හා අක්‍රමිකතා හේතුවෙන් සහ වසර ගණනක් මහජන නියෝජිතයින් නොමැතිව පවත්වාගෙන යාම හේතුවෙන් දැඩි ලෙස අකාර්යක්ෂම ආයතන ලෙස මහජනතාවගේ දෝෂ දර්ශනයට ලක්විය.

බිඳවැටී තිබූ එම සේවාවන් නැවත ගොඩනැගීම වෙනුවෙන් වත්මන් රජය බලයට පත්වීමෙන් අනතුරුව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් ආරම්භ කළ පුනරුදයේ පුරවර ජාතික වැඩසටහන යටතේ විශාල ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කරමින් සංවර්ධන ව්‍යාපෘති රැසක් මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතී. 

ඒ යටතේ ග්‍රාමීය පාලම් 800ක දැවැන්ත ව්‍යාපෘතියක් පසුගිය ජූලි 14 වන දින දිවයින පුරා ආරම්භ කළ බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කරයි. 

"පුනරුදයේ පුරවර" ජාතික වැඩසටහන යටතේ පළාත් පාලන ආයතන වල සංවර්ධන වැඩසටහන් හරහා බල ප්‍රදේශයේ ජීවත්වන ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම වෙනුවෙන් සහ පළාත් පාලන ආයතන මධ්‍යම රජයේ ප්‍රතිපාදන මත යැපීමකින් තොරව ආර්ථික වශයෙන් ස්වාධීන ආයතන ලෙස ස්වයංව නගාසිටුවීම කරා යන ගමනට ශක්තියක් වීම උදෙසා නව ආදායම් උත්පාදන මාර්ග නිර්මාණය කරගැනීමට හෝ පවතින ආදායම් උත්පාදන මාර්ග වැඩිදියුණු කරගැනිමට 2026 වසරේදී පළාත් පාලන ආයතන වෙත ලබා දෙන ප්‍රාග්ධන ප්‍රතිපාදන ප්‍රමාණය ඉහළ නැංවීමට වත්මන් රජය තීරණය කරන ලදී.

ඒ අනුව මෙම වසරේ අයවැය මගින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය හරහා පළාත් පාලන ආයතනවල ආදායම් උත්පාදන ව්‍යාපෘති සඳහා කාර්ය සාධනය මත පදනම් වූ ප්‍රාග්ධන ප්‍රදාන වෙනුවෙන් රුපියල් මිලියන 2,500 මුදලක් වෙන් කරන ලදී.

ඊට අදාලව 2026 වසර සඳහා ව්‍යාපෘති යෝජනා කැඳවීම රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් සිදු කෙරුණි. 

එක් එක් පළාත් පාලන ආයතනයන්හි ආදායම් මට්ටම, පසුගිය වසරේ කාර්ය සාධනය මෙන්ම යෝජිත ව්‍යාපෘතිය වෙනුවෙන් වැයවන සම්පූර්ණ මුදල වසර 5ක කාලයක් තුළ උපයාගැනීමට ඇති හැකියාව ඇතුළුව ශක්‍යතා සමාලෝචනයක් ද විශේෂ කමිටුවක් හරහා සිදු කිරීමෙන් අනතුරුව එම ව්‍යාපෘති යෝජනා අනුමත කරන ලදී.